කල්මුණේ සිට පුත්තලමට ඉබ්බන් රැගෙන ගිය ජාවාරමක් මාට්ටු.. කාඩ්බෝඩ් පෙට්ටියෙන් එලියට ආ ඉබ්බන් නිසා වැඩේ මාට්ටු වෙයි.
කල්මුණේ සිට පුත්තලම දක්වා ධාවනය වූ ලංගම බස් රථයකින් කිරි ඉබ්බන් අට දෙනෙකු ආරක්ෂිත නොවන ලෙස රැගෙන යමින් සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු කිරි ඉබ්බන් හය දෙනෙකු සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, මන්නාරම්පාර, වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කාඩ්බෝඩ් පෙට්ටියක මෙම කිරි ඉබ්බන් අටදෙනා දමාගෙන බස් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.
කෙසේ වෙතත්, බස් රථය වැලිකන්ද ප්‍රදේශය පසුකරමින් තිබියදී පෙට්ටියෙන් එළියට ආ කිරි ඉබ්බන් දෙදෙනෙකු බස් රථය තුළ ඇවිද යන අයුරු මගීන් දැක ඇති අතර, සැකකරු වහාම එම ඉබ්බන් දෙදෙනා මාර්ගය අසල තිබූ මඩවලකට දැමීමට කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳව බස් රථයේ සිටි මගියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මනම්පිටිය පොලිසිය, බස් රථය පරීක්ෂා කිරීමේදී පෙට්ටිය තුළ සිටි තවත් කිරි ඉබ්බන් හයදෙනෙකු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන රූපසිංහ (54860), බංදුල (49476), බණ්ඩාර (70121) සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් වන සුසිල් (M11880), රම්බණ්ඩා (M006996) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කිරි ඉබ්බන් හයදෙනා ද සමඟ අද (26) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.