දඹුල්ල රෝහලට ආ නාගයා ලේ බැංකුව අසලදී අල්ලයි.. රෝහල් සේවකයින්ගේ පැයක මෙහෙයුමෙන් රෝගීන්ගේ ජීවිත ආරක්ෂිතයි..
දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි ලේ බැංකුව අසලට පැමිණි විස සහිත නාගයෙකු ආරක්ෂිතව අල්ලා නිරුපද්‍රිතව ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කර තිබෙනවා.
පැමිණ සිටි රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරමින් රෝහල වෙත පැමිණි නාගයා රෝගී වාට්ටු මෙන්ම සායන පැවැත්වෙන කලාප වෙත ඇතුළුවීම වළක්වා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය වහා පියවර ගත්තා.
ඉන් අනතුරුව රෝහල් සේවකයින් කිහිපදෙනෙකු එකතු වී සිදුකළ පැයක පමණ දැඩි මෙහෙයුමකින් පසුවයි මෙම නාගයා කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව අල්ලා ගැනීමට සමත්වුණා.
දැනට පවතින දැඩි වියළි කාලගුණය සහ උණුසුම් තත්ත්වය හේතුවෙන් බොන්නට ජලය සොයා පැමිණීමේදී මෙම නාගයා මෙලෙස රෝහල් පරිශ්‍රයට ඇතුළු වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය අනුමාන කරනවා.