අවසන් රන්දෝලි මහ පෙරහර හෙටයි.. මහනුවරට විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක්..
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර හෙට (27) පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ වෙනුවෙන් මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.
මහනුවර නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග බාධක යෙදීම, විශේෂ ආරක්ෂක රාජකාරී, රථවාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීම, සංචාරකයින්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ රථවාහන ගාල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
මෙවර අවසන් රන්දෝලි මහ පෙරහර හෙට රාත්‍රියේ දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ වීථි සංචාරය කර නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිතව තිබෙනවා.
පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය තුළ ගමනාගමන කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම සඳහා විශේෂ විකල්ප මාර්ග පනවා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ 4 වන රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කෙරෙනවා.