මිනිසාගේ විශ්වාසවන්තම හිතවතාට වෙන්වූ විශේෂ දිනය.. ජාත්‍යන්තර සුනඛ දිනය අදයි..
මිනිසාගේ ලඟින්ම ඉන්න, විශ්වාසවන්තම සහ ආදරණීයම හිතවතා වන සුනඛයින් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර සුනඛ දිනය (International Dog Day) අදට (26) යෙදී තිබෙනවා.
අපේ නිවෙස්වල ආරක්ෂාවට වගේම පවුලේ සාමාජිකයෙකු ලෙසින් අපට ළංවන සුනඛයින්ගේ වැදගත්කම සහ උන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් තමයි සෑම වසරකම අගෝස්තු 26 වනදා මෙම දිනය ජාත්‍යන්තරව සමරනු ලබනවා.
වර්තමානය වන විට ලොව පුරා සුනඛ ගහනය බිලියන 400ක් දක්වා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වෙනවා.
මිනිසාට වඩා සිව්ගුණයක දෘශ්‍යමාන හැකියාවක් මෙන්ම ඉතා ඈතින් නැගෙන ශබ්ද පවා නිවැරදිව හඳුනාගැනීමේ අද්විතීය ශ්‍රවන හැකියාවක් සුනඛයින් සතු වීම උන්ගේ ඇති විශේෂත්වයයි.
මේ අතර ලෝකයේ පැරණිතම සහ ඉතාමත්ම කෘතහස්ත සුනඛයා ලෙස ඊජිප්තුවේ 'සලුක්කි' (Saluki) වර්ගයේ සුනඛයින් හඳුන්වනු ලබනවා.
ඉතින් අද වැනි දිනක, ඔබටත් සුනඛයෙකු සිටී නම් උන්ට වැඩිපුර ආදරය දක්වන්නත්, මඟතොටදී හමුවන අසරණ සුනඛයින්ට කරුණාව දැක්වීමටත් අමතක කරන්න එපා.