"මහන්සියි" කියූ හත් හැවිරිදි පුතුව ෆුජි කන්ද උඩ තනි කළ පියා.. ජපානයෙන් ඇසුණු අමුතුම පුවතක් මෙන්න...
Sunday, 23 August 2026 - 17:43 | Views - 37

ජපානයේ උසම කන්ද වන ෆුජි කඳු මුදුනේදී සිය අවුරුදු හතක් වයසැති පිරිමි දරුවාට පැණි බීම බෝතලයක් සහ කෙටි ආහාරයක් පමණක් දී පැය කිහිපයක් තනි කර දමා ගිය පියෙකුට පොලිසියෙන් තදින් අවවාද කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මීටර් 2,000කට (අඩි 6,500) වඩා උසින් පිහිටි ස්ථානයක, අධික මීදුම සහ වැසි සහිත කාලගුණය මධ්‍යයේ මෙම හත් හැවිරිදි දරුවා ෆුජි කන්දේ බංකුවක් මත වාඩි වී සිටිනු දක්නට ලැබී තිබෙනවා.
තමන්ට මහන්සි බව පැවසූ පසුව, 48 හැවිරිදි මෙම පියා දරුවාට "මෙතන ඉන්න" යැයි පවසා, තම වැඩිමහල් පුතු සමඟ කන්ද නැගීම තවදුරටත් ඉදිරියට කරගෙන ගොස් ඇති බව වාර්තා වුණා.
කඳු මුදුනට යන කඳු නැගීමේ මාර්ගයේ 6 වන ලැගුම්හලේ සේවකයින් විසින් මෙම දරුවා සොයාගෙන වහාම පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔහුගේ පියා සොයාගෙන ඇත්තේ එම මාර්ගයේ 7 වන සහ 8 වන ලැගුම්හල් අතර ප්‍රදේශයේදී වන අතර, එය දරුවා සිටි තැන සිට පැය තුනක කඳු නැගීමේ දුරක් බව සඳහන් වුණා.
ඉහළ ලැගුම්හලේ සිට ආපසු පැමිණි පියා තම පුතු සමඟ නැවත එක්වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙනවා.
පැය අටක කාලයක් තනිවම බලා සිටීමෙන් පසු දරුවා අධික ලෙස වෙහෙසට පත්ව අඩමින් සිට ඇති බව වාර්තා වුණා.
ජපාන මාධ්‍ය වාර්තා කරන පරිදි, "එකමුතුව කන්ද නැගීමේ අදහස අතහැර දැමීමට සිදු වුවද, දරුවෙකු මෙසේ තනි කර දමා යාම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක්" බව එක් නිලධාරියෙකු පියාට පවසා තිබෙනවා.
තම "අපරික්ෂාකාරී" තීරණය පිළිබඳව පියා එහිදී සමාව අයැද සිටි බව වැඩිදුරටත් වාර්තා වුණා.
Share This Article