"බොන්න වතුර ටිකක් දෙන්න" විල්ගමුව ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් හඬා වැටෙමින් ඉල්ලයි..
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ ජනතාව මේ දිනවල දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටින බව අප වාර්තාකරු සඳහන් කරනවා.
මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලට මායිම්ව පිහිටි මෙම ගම්මානයේ පවතින ජල අර්බුදය සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු වී නොමැති අතර, තමන්ට ඇති එකම ජල මූලාශ්‍රයට පිරිසිදු ජල පිරිපහදු ඒකකයක් සවිකර දෙන ලෙස ගම්වාසීන් ආයාචනා කර සිටිනවා.
පවුල් 450ක් 500ක් පමණ ජීවත් වන මෙම ගම්මානයට වසර කිහිපයකට ඉහතදී ස්වේච්ඡා සංවිධානයකින් නළ ජල ටැංකියක් ලබා දී තිබුණ ද එහි ජලය සමඟ ගල්කුඩු මුසු වී පැමිණීම නිසා ඒවා පානය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
ඒ අනුව නිවෙස් ආසන්නයේ ළිං කපාගෙන ජල අවශ්‍යතාව සපයා ගැනීමට ජනතාව පෙළඹී සිටිය ද පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ එම ළිං සියල්ල මේ වන විට සිඳී ගොස් ඇති බව වාර්තා වුණා.
යතුරුපැදි සහ වාහන ඇති පිරිස් කිලෝමීටර් 5ත් 7ත් අතර දුරක් ගෙවා වෙනත් ගම්මානවල ඇති ජල පිරිපහදුවලින් ජලය මිලදී ගෙන පානය කළත්, ගමන් කිරීමට පහසුකම් හෝ මුදල් නොමැති පිරිස් ගල්කුඩු සහිත අපිරිසිදු ජලයම පානය කිරීමට පෙළඹී සිටිනවා. මේ හේතුවෙන්ම ගම්මානයේ ලොකු කුඩා බොහෝ දෙනෙකු මේ වන විටත් වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ගම්වැසියෝ පෙන්වා දුන්නා.
මීට අමතරව ගමන් කිරීමට නිසි මාර්ගයක් හෝ ජීවනෝපායක් නොමැති මෙම ජනතාව පවතින වියළි කාලගුණය නිසා දැඩි ආහාර හිඟයකට ද මුහුණ දී සිටිනවා.
ගහකොළ වියළී යාම සහ ජලය නොමැති වීම නිසා සතා සිවුපාවා පවා දැඩි අසීරුතාවට පත්ව ඇති අතර, මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට තමන්ට පානීය ජල පිරිපහදු ව්‍යාපෘතියක් සවිකර දෙන ලෙසයි ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.