ටියුෂන් පන්ති ඉවර වී ගෙදර යද්දී මහ මඟදී සිදු වූ ඛේදවාචකය.. සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට...
මඩකලපුව, කෝට්ටේකල්ලාර් ප්‍රධාන මාර්ගයේ සිදු වූ දරුණු යතුරුපැදි අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මඩකලපුව පොලිසිය පවසනවා.
කෝට්ටේකල්ලාර් කන්නකී අම්මන් කෝවිල අසලදී ඊයේ (22) රාත්‍රී 9.21 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ තරුණයින් සිව්දෙනෙකු යතුරුපැදි දෙකකින් කල්මුනේ මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී එම යතුරුපැදි දෙක එකිනෙක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළා.
එහිදී පාලනයෙන් ගිලිහුණු එක් යතුරුපැදියක් මාර්ගය හරහා මාරු වීමට බලා සිටි සිසුන් තිදෙනෙකුගේ ඇගේ වැදීමෙන් මෙම ඛේදනීය අනතුර සිදු වී තිබෙනවා.
අනතුරින් 18 හැවිරිදි කිෂොන් නැමැති සිසුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර සිටි 17 හැවිරිදි කතිසන් නමැති සිසුවා අද (23) උදෑසන රෝහලේදී මියගොස් තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ විශේෂ උපකාරක පන්තියක් අවසන් කර ආපසු නිවෙස් වෙත යමින් සිටි සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙක් වීම විශේෂත්වයක්. අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි ළමුන් දෙදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.