මහනුවර පළමු රන්දෝලි පෙරහර අදින් ඇරඹෙයි.. අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම මෙන්න..
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (23) පස්වරු 6.44 ට යෙදෙන සුබ මොහොතින් විථි සංචාරය කිරීමට නියමිතයි.
ඒ අනුව, දකුණු දිශාභිමුඛව පෙරහර කරඬුව සහිත මංගල හස්තිරාජයා සුබ මොහොතින් දළදා මාලිගාවේ වාහල්කඩ අසළ සඳගල වෙත පා තබන මොහොතේදී පෙරහර ආරම්භය සිදුකෙරෙනවා.
සතර මහා දේවාල පෙරහර සහ අලි ඇතුන් මෙන්ම නැටුම් සහ හේවිසි කණ්ඩායම් සහිතව විචිත්‍රවත් ලෙස පෙරහර පැවැත්වීමට නියමිතයි.
කන්ද උඩරට ඇසළ පෙරහරේ මෙවර අවසන් මහා රන්දෝලි පෙරහර වීථී සංචාරය කෙරෙන්නේ ලබන 27 වන බ්‍රහස්පතින්දා එනම් නිකිනි පුරපසළොස්වක පොහෝදින රාත්‍රියේයි.
එසේම, දිය කැපීමේ මංගල්‍යය ඊට පසු දින ගැටඹේ තොටුපලේදී සිදුකෙරෙනවා.
මේ අතර, පෙරහර වෙනුවෙන් මහනුවර නගරය තුළ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එම කාලයේදී විකල්ප මාර්ග භාවිත කළ හැකි බව පොලිසිය දැනුම් දුන්නා.
ඒ අනුව කටුගස්තොට සිට පැමිණෙන සියලු බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකියි.
සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය, යටිනුවර වීදිය හරහා පැමිණ දකුණට හැරී මිරමෝක්මම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කළා.
එමෙන්ම කටුගස්තොට දෙසට පිටවන රථ වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකියි.
මීට අමතරව තැන්නෙකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රියපොළ අසලින් කොළඹ දෙසට සහ නගරය දෙසට ගමන් කළ හැකි බව පොලිසිය දැනුම් දෙනවා.
එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකියි.
මහනුවර නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයට ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකි අතර බෝගම්බර වට රවුමේ සිටද විකල්ප මාර්ග භාවිත කළ හැකි බව පොලිසිය ප්‍රකාශ කළා.
මීට අමතරව කොළඹ දෙසින් මහනුවරට ඇතුළු වීමට හා පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර භාවිත කළ හැකියි.