ලෝක මේස පන්දු පිටියේ ලංකා නාමය ඉහළටම.. තාවි ජාත්‍යන්තර තරගාවලි සහ පුහුණු කඳවුරු මාලාවකට සැරසෙයි..
ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනයේ (ITTF) අවුරුදු 11න් පහළ බාලක අංශයේ ලෝක අංක එකේ ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ඕනෑම වයස් කාණ්ඩයක හෝ ස්ත්‍රී පුරුෂ භාවයක ගෝලීය අංක එකේ ශ්‍රේණිගත කිරීමකට හිමිකම් කී පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වූ 11 හැවිරිදි තාවි සමරවීර ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සහ පුහුණු කඳවුරු මාලාවක් සඳහා සහභාගී කරවීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඔහු අගෝස්තු 24 සිට 27 දක්වා පැවැත්වෙන ස්ලෝවේනියා WTT යොවුන් තරගාවලිය, අගෝස්තු 29 සිට 31 දක්වා පැවැත්වෙන ක්‍රොඒෂියා WTT යොවුන් තරගාවලිය - වරාස්ඩින්, සැප්තැම්බර් 1 සිට 18 දක්වා පැවැත්වෙන ස්වීඩන් ජාත්‍යන්තර පුහුණු කඳවුර සහ සැප්තැම්බර් 25 සිට 27 දක්වා පැවැත්වෙන ජෝර්ජියා WTT යොවුන් තරගාවලිය - ටිබිලිසි යන තරගාවලි සඳහා සහභාගී වීමට නියමිතයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තාවි, ඔහුගේ පියා වන හසිත සමරවීරගේ මගපෙන්වීම යටතේ පුහුණුවීම් ලබන අතර, ඉතාලියේ ලිග්නානෝ, කටාර්හි දෝහා සහ බහරේන් වැනි රටවල පැවති ලෝක මේස පන්දු යොවුන් තරගාවලිවලදී (WTT Youth Contender) රන් පදක්කම් දිනා ගනිමින් ගෝලීය කීර්තියක් අත්කර ගැනීමට සමත් වුණා.
දැනට ඔහු දකුණු ආසියානු කලාපයේ අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන කාණ්ඩ දෙකෙහිම ප්‍රථම ස්ථානය ද රඳවාගෙන සිටිනවා.
නෝර්වේ රාජ්‍යයේ සැන්ඩිෆියුට් හි පැවැති තරඟාවලියේදී වයස අවුරුදු 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ තාවි, තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් තරඟ වැදුණු 15න් පහළ අංශයේ "හොඳම ක්‍රීඩකයන් 08 දෙනා" අතරට පැමිණීමට ද සමත් වුණා.
මෙම සංචාරය හුදෙක් ශ්‍රේණිගත කිරීම් ලුහුබැඳීමට වඩා ක්‍රීඩකයාට අඛණ්ඩ ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීම, ඔහුගේ වර්තමාන මට්ටම ආරක්ෂා කර ගැනීම සහ ඉදිරි 2027 වසර සඳහා ශක්තිමත් ශ්‍රේණිගත කිරීමේ පදනමක් ගොඩනඟා ගැනීමේ අරමුණින් සිදු කිරීමට නියමිත බව වාර්තා වුණා.
විශේෂයෙන්ම ස්වීඩනයේදී පැවැත්වෙන සති කිහිපයක පුහුණු කඳවුර ප්‍රබල ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමග පුහුණුවීම් ලැබීමට සහ මතු වූ දුර්වලතා මගහරවා ගැනීමට කදිම අවස්ථාවක් වන අතර එමගින් දිගුකාලීන සංවර්ධන සැලැස්මක් යටතේ තාවිගේ ඉදිරි ක්‍රීඩා දිවිය අඛණ්ඩව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා.