දැඩි වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක 81,865ක් පීඩාවට.. පානීය ජල අර්බුදය උග්‍ර වෙයි..
Saturday, 22 August 2026 - 15:30 | Views - 32

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 07ක පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
අද උදෑසන 6:00න් අවසන් වූ ගත වූ පැය 24 තුළදී අම්පාර, බදුල්ල, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් 23,048 ක පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා දීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නා.
අනුරාධපුරය, පොළොන්නරුව, වැල්ලවාය සහ අම්පාර ආදී ප්‍රදේශවල පවතින වැසි රහිත කාලගුණය නිසා ජනතාවගේ දෛනික කෘෂිකාර්මික කටයුතු මෙන්ම පානීය ජල අවශ්‍යතාවයන් සපයා ගැනීමට නොහැකිව ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම වියළි තත්ත්වය හමුවේ තිරප්පනේ පිත්තලකොණ්ඩෑරුම වැව සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, පොළොන්නරුව හිඟුරක්ගොඩ - කිතුල්උතුව ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා ළිං රැසක් ද සම්පූර්ණයෙන්ම වියළී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළා.
මේ අතර නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මොණරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුළත් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
Share This Article