හෙළ ගී අඹරේ අමරණීය කෝකිලාවියගේ නික්ම යාම.. විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා බොරැල්ලේදී..
Friday, 21 August 2026 - 9:43 | Views - 44

දශක හයකට අධික කාලයක් මුළු මහත් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය සිය මධුර හඬින් සුගන්ධවත් කළ, හෙළ ගී අඹරේ අසහාය ගාන කෝකිලාවිය වන විශාරද නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් සමස්ත ජාතියම සිය ශෝකය පළකර සිටිනවා.
ඇගේ අභාවප්‍රාප්ත ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව ඇගේ සමීපතම කලාකරුවෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව, විශාරද නන්දා මාලනියගේ දේහය අද (21) උදෑසන 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර තැබෙන අතර, ඇයට ආදරය කළ රසික රසිකාවියන්ට, මහ සංඝරත්නයට, කලාකරුවන්ට මෙන්ම ප්‍රභූන් ඇතුළු සියලු දෙනාටම අද දිනයේ සිට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.
අනතුරුව සෙනසුරාදා (22) පස්වරු 3.30ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය අවසන් කටයුතු සඳහා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමුකළ යුතු කරුණක් වන්නේ, ඇය ජීවත්ව සිටියදී ප්‍රකාශ කළ අවසන් කැමැත්තට උපරිමයෙන් ගරු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබීමයි.
ඒ අනුව කිසිදු නිල හෝ රාජ්‍ය මට්ටමේ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව, අතිශය සරල සහ නිහඬ ආකාරයෙන් සෙනසුරාදා පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
'අම්මාවරුනේ', 'රුක් අත්තන මලමුදුනේ', 'පාරමිතා බල නොපූරූ' වැනි අමරණීය ගීත දහස් ගණනක් දායාද කරමින් ජාතික සහ සංස්කෘතික මෙහෙවරක යෙදුණු විශාරද නන්දා මාලනිය, තමන්ගේ නික්ම යාමේදී පවා රටට ලබා දුන්නේ අසමසම නිහතමානී ආදර්ශයක්.
ඇගේ නික්ම යාම ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ පිරවිය නොහැකි අතිදැවැන්ත හිස්තැනක් ඉතිරි කර තිබෙනවා.

Share This Article