ළා දළු බෝපත් සෙමින් සැළෙද්දී නිවී ගිය පහන.. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ..
අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් දෙහිවල - සරණංකර ක්‍රීඩංගණයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
සම්බුද්ධ ශාසනයට, බෞද්ධ සාහිත්‍යයට මෙන්ම දේශීය සුගම ගීත කලාවට අනුපමේය හා විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (20) දිනයේදීත් මහ සංඝරත්නය, දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල සැදැහැතුන් පිරිසක් විහාරස්ථානය වෙත පැමිණ සිටියා.
අද පස්වරුවේ සංඝපීතෘන් වහන්සේලාගේ සහ ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව, උන්වහන්සේගේ ශ්‍රී දේහය අද පස්වරුවේ දෙහිවල සරණංකර ක්‍රීඩංගණය වෙත වැඩම කරවා ආදාහන පූජෝත්සවය සිදුකිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.