කොළඹ ඓතිහාසික ගොඩනැගිලිවලට අලුත් පණක්.. ලෝක බැංකු ආධාරයෙන් කොටුව සංචාරක කලාපයක් කරන හැටි මෙන්න.
කොළඹ - කොටුව ප්‍රදේශයේ පවතින ඓතිහාසික උරුමයන් සහ පැරණි ගොඩනැගිලිවල සුන්දරත්වය සුරක්ෂිත කරමින්, එය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය විශේෂ සැලසුමක් දියත් කර තිබෙනවා.
ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ කොළඹ මහනගර සභාව (CMC) ඒකාබද්ධව දායකත්වය ලබාදීමට නියමිතයි.
මෙම අතිනූතන සංවර්ධන සැලැස්ම ඔස්සේ කොළඹ වරාය නගරය (Port City) සහ කොළඹ වරායට පැමිණෙන ජාත්‍යන්තර සංචාරක නෞකා (Passenger Cruise Ships) සමඟ සමීප සබඳතාවක් ගොඩනඟමින්, මෙරට සංචාරක ව්‍යාපාරයට මෙන්ම ජාතික ආර්ථිකයට ද ඉහළ දායකත්වයක් ලබාගැනීම රජයේ මූලික අපේක්ෂාව වී තිබෙනවා.
එමෙන්ම, සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කොළඹ ප්‍රදේශයේ පවතින ඇළ මාර්ග පද්ධතිය විධිමත්ව සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.