ගල්කිස්ස වෙඩි තැබීමට අදාළව දැවැන්ත විමර්ශනයක්.. වෙඩික්කරු සහ ආධාර දුන් අය අසුවූ හැටි..
ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 15 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව පෙරේදා (18) සවස වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වුණා.
අනතුරුව එදිනම රාත්‍රී කාලයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ජීව පතුරොම් 12ක් සහ හිස් පතුරොම් කොපු 6ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28, 32 සහ 35 යන වයස්වල පසුවන කොළඹ 12, කොළඹ 14 සහ දළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය කුරුණ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තැනැත්තියක්.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.