කලාවැවට ජලය දෙන බෝවතැන්න ජලාශයේ හදිසි නඩත්තුවක්.. ලබන 24 වැනිදා සිට ජලය ඉවත් කෙරේ..
කලාවැව වැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධානතම ජල මූලාශ්‍රය වන බෝවතැන්න ජලාශයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 24 වනදා සිට එම ජලාශයේ ජලය ඉවත් කිරීමට පියවර ගන්නා බව ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් ප්‍රකාශ කර සිටිනවා.
දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය උපයෝගී කරගනිමින් ජලාශයේ වසර ගණනාවක් පුරා තැන්පත් වී ඇති රොන්මඩ ඉවත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා මෙලෙස ජලය ඉවත් කරන බව වාර්තා වුණා.
පවතින වියළි කාලගුණයත් සමඟ මේ වන විටත් ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර මිලියන එකොළහ දක්වා පහත වැටී තිබෙනවා.
මෙම නඩත්තු කටයුතු සඳහා සති තුනක කාලයක් ගතවන අතර, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ලබන මස 14 වනදා සිට ජලාශය නැවත ජලයෙන් පුරවාලීමට කටයුතු කරන බව ජලාශය භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් තහවුරු කළා.