අදත් ප්‍රදේශ රැසකට දැඩි උණුසුමක්.. මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමට..
නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (20) දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණය මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් පදනම් කරගෙන මෙම උණුසුම් දර්ශකය ගණනය කර ඇති අතර, මෙය පරිසරයේ පවතින උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොව මිනිස් සිරුරට සැබැවින්ම දැනෙන උණුසුම් තත්ත්වය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙම පවතින දැඩි උණුසුම් තත්ත්වය හමුවේ විජලනය සහ අධික මහන්සිය වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ මගින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එළිමහනේ සේවය කරන පිරිස් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට, හැකි තරම් සෙවන ඇති ස්ථානවල විවේක ගැනීමට සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීමට වගබලා ගැනීම ඉතාම වැදගත්.
එමෙන්ම වැඩිහිටියන්, කුඩා ළමුන් සහ සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින් පිළිබඳව මේ දිනවල වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, දිවා කාලයේදී එළිමහනේ අධික ලෙස වෙහෙස වන ව්‍යායාම හෝ බරපතල කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.