වසර 25කට පසු මහනුවරින් ඇසෙන ඓතිහාසික පුවත.. ශ්‍රී දළදා සමිඳුන්ගේ සාධාතුක කරඬුව වැඩම කරවීමට 'ජනරාජා' ඇතුට පින් පෑදෙයි..
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීථි සංචාරය කරන අද (19) දිනයේ, පරම පූජනීය ශ්‍රී දළදා සමිඳුන්ගේ සාධාතුක කරඬුව වැඩම කරවීමේ අතිදුර්ලභ හා පූජනීය භාග්‍යය ශ්‍රී දළදා මාලිගාවේ "ජනරාජා" ඇතුට හිමිව තිබෙනවා.
වසර 25ක දීර්ඝ කාලයකට පසුව ජනරාජා ඇතුට මෙම මහා පුණ්‍යකර්මයට හිමිකම් කීමට ලැබීම විශේෂත්වයක් වන අතර, ඒ හේතුවෙන්ම මෙවර දළදා පෙරහැරේදී කාගේත් අවධානය මෙම හස්තියා වෙත යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත පූජා කරන ලද මෙම හස්තියා මුලින් "අරිට්ඨ" නමින් හඳුන්වනු ලැබුවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කරගනිමින් මෙම පින්වත් හස්තියා "ජනරාජා" ලෙස නම් කර ඇති අතර, ගම්භීර ලෙස සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා ජනරාජා ඇතු මේ වන විටත් පූර්ණ ලෙස පේවී සූදානම්ව සිටින බව වාර්තා වෙනවා.