තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන මවාපෑ බොරුව හෙළිවෙයි.. සමාජය නොමග යැවූ සැකකරුට සිරගෙදරින් උත්තර..
Wednesday, 19 August 2026 - 18:22 | Views - 71

කිලිනොච්චිය, පලෙයි රක්ෂිතයේ තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට අසත්‍ය තොරතුරු ජනගත කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැති සැකකරු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (19) නියෝග කළා.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) මගින් සිදුකළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබෙනවා.
අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස තමන්ව හඳුන්වා දෙමින් මෙම සැකකරු පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා අදාළ ප්‍රකාශය කර තිබූ අතර, ඔහු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක් ද භාවිත කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණය කළා.
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් වන අතර, එමගින් ජාතීන් අතර සාමයට බාධාවක් සහ මහජන කැලඹීමක් ඇති විය හැකි බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්ති ප්‍රකාරව චෝදනා ගොනුකර සැකකරු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රකාශ කර සිටියා.
අදාළ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය ඊට පසුදිනම පොලිස්පතිවරයා විසින් ද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබුණා.
පලෙයි රක්ෂිතය තුළ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු විසින් නීති විරෝධී ලෙස ගොවිපොළක් සහ ඇඟලුම් කම්හලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පලෙයි පොලීසිය මගින් දැනටමත් නඩු පවරා ඇති බවත්, එය කිසිසේත්ම තහනම් සංවිධානයක කඳවුරක් නොවන බවත් විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා TID විශේෂ කණ්ඩායමක් කිලිනොච්චිය ප්‍රදේශයට යවා තිබෙනවා.
Share This Article