ප්‍රවීණ ගේය පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වෙයි.. ශ්‍රී දේහය අද දහවල් වැල්ලවත්ත සුධර්මාරාමයට..
බොදු ගී ඇතුළු අර්ථාන්විත සුගම ගීත රැසකින් ශ්‍රී ලාංකේය ගීත කලාකෙත පෝෂණය කළ ප්‍රවීණ ගේය පද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ වෙසෙන වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය වෙත ගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර සිටියා.
දීර්ඝ කාලයක් පුරා පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (18) අපවත් වන විට 76 වන වියෙහි පසුවුණා.
1950 වසරේ මැයි 22 වැනිදා දෙනියාය, රඹුකන ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේ, මොරවක, වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා.
ගුණදාස කපුගේ ශූරීන් ගැයූ පිහිටක් නැති - සරණක් නැති, සද්ධර්ම මකරන්ද ගීතය මෙන්ම වික්ටර් රත්නායකයන් ගැයූ බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, කාසිවලට ගන්නත් බැහැ ගීතය ද උන්වහන්සේගේ පන්හිඳෙන් ලියවුණා.
විශාරද මාලිනි බුලත්සිංහල ගායනා කළ හිමි සණරාමර, පිපෙනා මලකට, සෙනෙහස පුදා මෙන්ම බුදු බණ ඇසුවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ගයන ලා දළු බෝපත් මෙන්ම වෙහෙරක් වගේ ගීතය ද උන් වහන්සේ රචනා කළ ගීත අතර වනවා.
තම ගීත කලාව එක් පැතිකඩකට සීමා නොකළ සිද්ධාර්ථ හිමියන් පන්සලේ - පල්ලියේ, බණ කියන රටක්, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, මේ ඉර හඳ යට, සියක් ආයු ලැබ, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, අනුරාධපුරේ අනුරාව නැගූ මෙන්ම, සඳ තරු මල් මට දන් දුන් වැනි ගීත ද දායාද කළා.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් වැඩිදුරටත් කියා සිටියා.