ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ විස්මිත ජයග්‍රහණයක්.. ත්‍රිකුණාමල මහ රෝහලේදී ලොව විශාලතම වකුගඩු ගල සාර්ථකව ඉවත් කරයි.
Sunday, 16 August 2026 - 21:34 | Views - 18

ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එකතු කරමින්, රෝගියෙකුගේ උදරයෙන් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 100ක් (කිලෝග්‍රෑම් 3.1) බරැති සහ සෙන්ටිමීටර් 21ක් දිග දැවැන්ත වකුගඩු ගලක් සාර්ථකව ඉවත් කිරීමට ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.
වකුගඩු ශල්‍ය වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 14 වනදා මෙම සංකීර්ණ සැත්කම සාර්ථකව සිදු කර ඇති බවයි වාර්තා වුණා.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු මුත්‍රා කිරීමේ දැඩි අපහසුතාවයක් හේතුවෙන් ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී සිදු කරන ලද විශේෂ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුගේ මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිතව මෙම විශාල ගල පිහිටා ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
අනතුරුව වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන්, වෛද්‍ය එම්. රිෂ්ලි මහීල්, වෛද්‍ය ජේ.එම්. ඉහ්සාන්, වෛද්‍ය සී. ප්‍රහලතන් සහ නිර්වින්දන වෛද්‍ය අමිලා ජයකඩ ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කරන ලද දීර්ඝ ශල්‍යකර්මයකින් පසුව මෙම දැවැන්ත වකුගඩු ගල සාර්ථකව ඉවත් කිරීමට හැකි වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මීට පෙර ලොව විශාලතම වකුගඩු ගල ලෙස 2003 වසරේදී බ්‍රසීලයෙන් වාර්තා වී ඇත්තේ ග්‍රෑම් 1.9ක් බරැති ගලක් වන අතර, ත්‍රිකුණාමලය මහ රෝහලේදී ඉවත් කරන ලද මෙම කිලෝග්‍රෑම් 3.1ක වකුගඩු ගල ලොව මෙතෙක් ඉවත් කරන ලද විශාලතම වකුගඩු ගල ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවනු ඇති බවටයි වෛද්‍ය කණ්ඩායම විශ්වාසය පළ කරනවා.
Share This Article