අයගම ආරණ්‍ය සේනාසනය අසලින් ඇසුණු ශෝකජනක පුවත.. අඩි තුන්සියයක ගල් ප්‍රපාතයක තිබී සිරුර මුදාගැනීමට පොලිසිය සමත්වෙයි..
අයගම, ඉන්දොලවත්ත ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව පිහිටි ගල් තලාවකින් අඩි තුන්සියයක පමණ බිහිසුණු ප්‍රපාතයකට වැටී මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර අද (16) පස්වරුවේ ගොඩගත් බව අයගම පොලිසිය තහවුරු කර සිටිනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අයගම, දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ පුද්ගලයා පසුගිය අගෝස්තු 09 වනදා ඥාති නිවසක් වෙත යන බව පවසා සිය නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අගෝස්තු 10 වනදා සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටි බව පොලිසිය සඳහන් කරනවා.
ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද මූලික සොයා බැලීම්වලදී, ඉන්දොලවත්ත ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයට ආසන්නයේ තිබී අදාළ පුද්ගලයාට අයත් පාවහන් යුගල සහ කුඩය සොයාගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
අනතුරුව පසුගිය අගෝස්තු 13 වනදා පොලිසිය මගින් ඩ්‍රෝන (Drone) කැමරා තාක්ෂණය යොදා ගනිමින් ප්‍රදේශය පුරා දියත් කරන ලද විශේෂ සෙවුම් මෙහෙයුමකදී, අඩි තුන්සියයක පමණ ගැඹුරු ප්‍රපාතයක තිබී ඔහුගේ මළ සිරුර සොයාගනු ලැබුවා.
ප්‍රපාතයේ තිබූ මළ සිරුර අද පස්වරුවේ ගොඩගැනීමට කටයුතු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.