මා ඔයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුට වූ අවාසනාවන්ත විපත.. මීරිගමෙන් ඇසුණු කම්පිත පුවත..
මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වීමෙන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (15) පස්වරුවේ මෙම සංවේදී සිදුවීම සිදුව ඇති අතර, දියේ ගිලෙමින් සිටි තරුණයින් දෙදෙනෙකු ප්‍රදේශවාසීන්ගේ ක්ෂණික මැදිහත්වීම මත බේරාගෙන වහාම දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, රෝහල් ගත කර දැඩි සත්කාර ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් එක් තරුණයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.
මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීරිගම ප්‍රදේශයේම පදිංචිව සිටි 19 හැවිරිදි නැගී එන තරුණයෙකි.
අනතුරින් අතුරුදන් වූ අනෙක් තරුණයා සොයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මා ඔය ආශ්‍රිතව විශේෂ සෙවුම් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.