ඇසළ පෙරහරේ ආරක්ෂාවට දැවැන්ත ආරක්ෂක වළල්ලක්.. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8,000ක පිරිසක් මහනුවරට..
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට සහ ශ්‍රී දළදා සමිඳුන් නමස්කාර කිරීමට පැමිණෙන දහස් සංඛ්‍යාත දේශීය හා විදේශීය බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පෙරහර පැවැත්වෙන මුළු කාලසීමාව පුරාවටම මහනුවර නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 8,000කට ආසන්න පිරිසක් ආරක්ෂක රාජකාරි සඳහා යොදවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
මෙම විශේෂ ආරක්ෂක මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 6,200ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 564ක්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,200ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 29 දෙනෙකු ඇතුළත් වන අතර, නගරයේ පරීක්ෂණ කටයුතු සහ නිරීක්ෂණ සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද සෘජුවම ලබා ගැනීමට නියමිතයි.
මීට අමතරව, පෙරහර කාලසීමාව තුළ මහනුවර නගරයට ඇතුළු වන සහ පිටවන සියලුම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක 14ක් ක්‍රියාත්මක කිරීමටත්, පැමිණෙන වාහන විධිමත්ව නැවැත්වීම සඳහා රථගාල් 13ක් ස්ථාපිත කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.
එම නිසා මහනුවර නගරයට පැමිණෙන ජනතාවට බියකින් සැකයකින් තොරව පෙරහර නැරඹීමට අවශ්‍ය සියලු පසුබිම සකස් කර ඇති අතර, ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.