ඉන්දියන් සාගරය කැළඹූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනය.. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ.
ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් වූ ඉන්දියන් සාගර කලාපයේ අද (15) අලුයම 03.28ට රික්ටර් මාපක 7.7ක අතිශය ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
මෙම භූ කම්පනයේ කේන්ද්‍රය නැගෙනහිර නුසා ටෙන්ගාරා පළාතේ එන්ඩේ නගරයට කිලෝමීටර් 68ක් පමණ උතුරු-වයඹ දෙසින්, මුහුදු පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පිහිටා තිබූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර සිටිනවා.
ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව ගතවූ පැය භාගයක කෙටි කාලය තුළ රික්ටර් මාපක 5.9, 5.6 සහ 6.1ක ප්‍රබලත්වයෙන් යුත් පසුකම්පන (Aftershocks) 03ක් ද වාර්තා වී තිබීම විශේෂත්වයකි.
මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සනාථ කර සිටියද, ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය (BMKG) විසින් එරට මුහුදු තීරයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් වෙරළ ආශ්‍රිත ජනතාවට වහාම උස්බිම් වෙත යන ලෙස නියෝග කර තිබෙනවා.
මෙම අවාසනාවන්ත ස්වාභාවික ආපදාවෙන් දැනටමත් මවුමරේ වරාය ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව ඉන්දුනීසියානු ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය (BNPB) සහ අල්ජසීරා පුවත් සේවය තහවුරු කරනවා.
භූ කම්පනයේ දැඩි බලපෑම හේතුවෙන් මවුමරේ ප්‍රදේශයේ ගොඩනැගිලි ඇතුළු දේපළ රැසකට විශාල හානි සිදුව ඇති අතර විපතට පත් ජනතාව මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් එරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර තිබෙනවා.