පාසල් දරුවන්ගේ පෙළපොත් 20,000කට වුණු දේ මෙන්න. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හදිසි පැමිණිල්ලක්..
පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සිසු ක්‍රියාකාරකම් පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද නිල පැමිණිල්ලකට අනුව පොලිසිය මෙලෙස විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
අදාළ පැමිණිල්ලට අනුව, රුපියල් ලක්ෂ අටක් පමණ වටිනාකමකින් යුත් මෙම පෙළපොත් 19,892ක විශාල තොගය නියමිත පරිදි අදාළ බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත භාර දී නොමැති බව අනාවරණය වී තිබෙනවා.
ප්‍රවාහනය සඳහා ගිවිසුම්ගතව ඇති ආයතනය වෙත මෙම පොත් තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමට පසුගිය මැයි 04 වැනිදා අවසර ලබා දී තිබුණද, පොත් තොගය අදාළ ස්ථාන වෙත ලැබී නොමැති බව සඳහන් වෙනවා.
මෙම සිදුවීමට වගකිව යුතු සැකකරුවන් සහ අතුරුදහන් වූ පොත් තොගය සොයා තලංගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.