ටික්ටොක් සහ යූටියුබ් අභිබවා යාමට ෆේස්බුක් ගැසූ නවතම විසඳුම.. AI බලයෙන් ක්‍රියාත්මක 'Creator Studio App' එළිදක්වයි..
Friday, 14 August 2026 - 13:43 | Views - 42

සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වයට මුහුණ දීම සඳහා Meta සමාගම විසින් ෆේස්බුක් නිර්මාණකරුවන් (Creators) වෙනුවෙන්ම AI මගින් ක්‍රියාත්මක වන "Creator Studio" නමින් නවතම ස්වාධීන යෙදුමක් (Standalone App) නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.
අන්තර්ගත නිර්මාණකරුවන්ට ඔවුන්ගේ ප්‍රේක්ෂක පිරිස සාර්ථකව වර්ධනය කර ගැනීමට අවශ්‍ය පුද්ගලීකරණය කළ උපදෙස් ලබා දීම සහ ප්‍රජාවන් සමග සක්‍රියව සම්බන්ධ වීමට නවීන මෙවලම් සැපයීම මෙම යෙදුමේ ප්‍රධාන අරමුණයි.
සති කිහිපයක පරීක්ෂණ මට්ටමකින් පසුව iOS මෙහෙයුම් පද්ධතිය සඳහා දැනට එක්සත් ජනපදය සහ කැනඩාව තුළ මෙම යෙදුම ලබා දී තිබෙනවා.
මෙම නව ඇප් එක තුළම අන්තර්ගත කර ඇති ෆේස්බුක් හි AI ක්‍රියේටර් සහායකයා (AI Creator Assistant) මගින් නිර්මාණකරුවන්ගේ අන්තර්ගත රටාවන්, කාර්ය සාධනය සහ ප්‍රේක්ෂක සම්බන්ධතාවය විශ්ලේෂණය කර විශේෂ නිර්දේශ ලබා දෙනු ලබනවා.
මින් පෙර තමන්ගේ පෝස්ට්වල සාර්ථකත්වය මැන බැලීමට සංකීර්ණ ප්‍රස්ථාර සහ Dashboard පරීක්ෂා කිරීමට සිදු වූවත්, මෙම AI සහායකයා හරහා "පෝස්ට් එකක් දැමීමට සුදුසුම වේලාව කුමක්ද?" වැනි ප්‍රශ්නවලට සෘජුවම ඉක්මන් පිළිතුරු ලබා ගැනීමට නිර්මාණකරුවන්ට අවස්ථාව හිමිවෙනවා.
මීට අමතරව, වඩාත්ම වැදගත් Comment ඉස්මතු කර දැක්වීම සහ නිර්මාණකරුගේම ස්වරයෙන් (Tone) පිළිතුරු කෙටුම්පත් කර දීමේ විශේෂිත AI මෙවලමක් ද මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
ක්‍රියේටර්වරුන්ට දිනපතා යෙදුම විවෘත කරන විට තමන්ගේ නවතම පෝස්ට් එකේ කාර්ය සාධනය, ප්‍රමුඛතා සහ පිළිතුරු දිය යුතු කමෙන්ට්ස් පහසුවෙන් දැකබලා ගත හැකියි.
නිර්මාණකරුවන් අන්තර්ගත අදහස් සොයා ගැනීමට ChatGPT වැනි තෙවැනි පාර්ශවීය AI මෙවලම් මත යැපීම අවම කිරීම ද මෙටා සමාගමේ තවත් බලාපොරොත්තුවකි.
මීට අමතරව, මෑත කාලයේදී Reddit වලට සමාන 'Forum', අතුරුදහන් වන ඡායාරූප යවන 'Instants', 'Pocket' ක්‍රීඩා යෙදුම සහ ළමා කතා නිර්මාණය කරන 'StoryKit' වැනි ස්වාධීන යෙදුම් රැසක් එළිදක්වමින් Meta සමාගම තාක්ෂණික ලෝකය තුළ විශාල පෙරළියක් සිදුකරමින් සිටිනවා.
Share This Article