විදේශගත සිසුන් අතර ඇතිවූ ආරවුල දුරදිග යයි.. ජපානයේදී අකාලයේ අහිමි වූ තරුණ ජීවිතය..
ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ දරුණු ආරවුලක් දුරදිග යාමෙන්, එක් සිසුවෙකු තියුණු ආයුධයකින් ඇන අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් ජපානයේ චිබා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
චිබා ප්‍රාන්තයේ නගරෙයාමා (Nagareyama) නගරයේ පිහිටි නිවසකදී මෙම බිහිසුණු අපරාධය සිදුව ඇති අතර, සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එම නිවසේම පදිංචිව සිටි 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික සිසුවෙකු ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජපාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට, අදාළ නිවස තුළදී තියුණු ආයුධයකින් ප්‍රහාරයට ලක්වූ 21 හැවිරිදි තරුණයා බරපතළ තුවාල ලබා සිටියදී සැකකරු විසින්ම හදිසි ඇමතුම් අංශ වෙත දැනුම් දී තිබෙනවා.
අනතුරුව වහාම ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් තුවාලකරු රෝහල් ගත කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි සැකකරුගෙන් ජපාන පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී, තමන් විසින් සිය මිතුරාට පිහියෙන් ඇන මෙම ඝාතනය සිදුකළ බව ඔහු පොලිසිය හමුවේ සෘජුවම පිළිගෙන තිබෙනවා.
මියගිය තරුණයා සහ සැකකරු ලංකාවේ සිටම එකට සිටි හිතවතුන් වන අතර, සිද්ධිය වූ දින අදාළ තරුණයා තමන්ට අපහාසාත්මක ලෙස බැණ වදිමින් තමන්ගේ මවටද දැඩි ලෙස අපහාස කර පහරදීමට උත්සාහ කළ බව සැකකරු ප්‍රකාශ කර තිබෙනවා.
එම අවස්ථාවේදී ඇතිවූ දැඩි කෝපය පාලනය කරගත නොහැකිව තමන් මෙම අපරාධය සිදුකළ බවයි 18 හැවිරිදි සැකකාර තරුණයා ජපාන පොලිසිය හමුවේ වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ජපාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.