සතුටින් කෙළවර විය යුතු දිනය ශෝකයෙන් බර වෙයි.. අක්කාගේ මඟුල් ගෙදර ගොස් එද්දී මල්ලී සහ ආච්චි අනතුරින් මරුට..
වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් මඟලෙගොඩ - නයිවල මාර්ගයේදී ඊයේ පස්වරු 5.00ට පමණ අවාසනාවන්ත රිය අනතුරක් සිදුව තිබෙනවා.
මංගල උත්සවයකට සහභාගී වී ආපසු නිවස බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් මාර්ගය අසල වූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එමගින් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ ඔහුගේ මිත්තණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි නවෝද් චතුරංග නමැති තරුණයා සහ ඔහුගේ 80 හැවිරිදි මිත්තණිය වන W.A. වික්‍රමාරච්චි නමැති කාන්තාවයි.
තමන්ගේ වැඩිමහල් සොහොයුරියගේ විවාහ උත්සවය නිමවී නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම ඛේදනීය අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ මනාලියගේ මල්ලී (මියගිය තරුණයා), මිත්තණිය, මව සහ පියා ඇතුළු පවුලේ සාමාජිකයින් 9 දෙනෙකු ගමන් කර තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා වහාම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ මිත්තණිය මියගොස් ඇති බවත්, තුවාල ලැබූ සෙසු 7 දෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය ප්‍රකාශ කළා.
වේයන්ගොඩ පොලිසිය මගින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ ගමන සහ වෙහෙස නිසා රියදුරු ලෙස කටයුතු කළ තරුණයාට නින්ද යාම මෙම බිහිසුණු අනතුරට ප්‍රධානතම හේතුව වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.