මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නැහැ.. ලැබුණු බවටවත් දැනුවත් කර නැහැ..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ මතය සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට මේ දක්වා කිසිදු පිළිතුරක් හෝ එය ලැබුණු බවට දැනුවත් කිරීමක් පවා නොලැබීම කණගාටුදායක තත්ත්වයක් බව මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසනවා.
අද (12) මහනුවරදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් මල්වතු මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියා.
රටේ යම් ගැටලුවක් ඇති වූ විට රාජ්‍ය පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම රජ දවසේ සිට පැවත එන සිරිතක් වුවද, වර්තමානයේ මහා නායක හිමිවරුන්ගේ ලිපියක් පවා ජනාධිපතිවරයාට නොලැබුණු බවට ඇතැම් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
එමෙන්ම රටේ කිසිදු විෂය කරුණක් සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති බවත්, බලයට පත්වන පාලකයින් තමන්ට වාසි වන පරිදි කටයුතු කරමින් විපක්ෂයේදී කී දේවල් අමතක කරදමන බවත් උන්වහන්සේ අවධාරණය කළා.
එමෙන්ම වත්මන් අධ්‍යාපන ක්‍රමයේ ඇති වී තිබෙන පරිහානිය, පඳුරක් පඳුරක් ගානේ පෞද්ගලික උපකාරක පන්ති බිහිවීම, ඉරිදා දිනයේද උපකාරක පන්ති පැවැත්වීම නිසා දරුවන් දහම් පාසල් නොයෑම, වෙළෙඳපොළේ ඇති අටපිරිකරවල ප්‍රමිතියක් නොමැතිකම සහ ගොවි ජනතාව මුහුණ දෙන බරපතල ගැටලු පිළිබඳව ද මල්වතු මහා නාහිමියන් මෙහිදී සිය දැඩි කණගාටුව පළ කර සිටියා.
ලෝකයේ බොහෝ රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ට වඩා වැඩි බැවින් ශ්‍රී ලංකාවේ ද එය දීර්ඝ කිරීමේ ගැටලුවක් නොමැති බව මෙම අවස්ථාවට එක්වූ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළා.