විල්පත්තුව අධි සංවේදී කලාපයේ පරිසර හානියක්... කලාඔයේ නීති විරෝධී ලෙස හැසිරුණු 14කට වැඩ වරදී..
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සහ ඒ ආශ්‍රිත අධි සංවේදී ප්‍රේරණ කලාපය මධ්‍යයේ ගලා බසින කලාඔයේ දිය නෑමේ මුවාවෙන් පැමිණ පරිසර පද්ධතියට හානි කරමින් නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකුට එරෙහිව පුත්තලම අධිකරණය හමුවේ නඩු පැවරීමට එළුවන්කුලම වනජීවී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
දිනකට 1,000කට අධික පිරිසක් දිය නෑම සඳහා පැමිණ ස්වාභාවික පරිසරය විනාශ කරන බවට ලද තොරතුරකට අනුව ඊයේ (08) මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වුණා.
මෙහෙයුම අතරතුර සැකකරුවන් අධික ශබ්ද වාහිනී යොදා ගනිමින් මත්පැන් සාද පවත්වමින් සිට ඇති අතර, තවත් පිරිසක් තහනම් දැල් සහ බිලිපිති යොදා ගනිමින් මසුන් මරමින් සිට තිබෙනවා. එමෙන්ම දුර්ලභ ගණයේ කුඹුක් ශාක මුල්වල ගිනි දැල්වීම, ගස්වල අතු කැපීම සහ ඝන අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව ද නිරීක්ෂණය වී තිබෙනවා.
තහනම් දැල් යොදා ගනිමින් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වලයා, රෝගුවා, ලූළන්, ගෝල්ඩන් සහ කැට්ලෝ යන මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා හොර රහසේ රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම මසුන් නැවත නිරුපද්‍රිතව කලාඔයට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ප්‍රකාරව රාජකාරියට බාධා කළ පිරිස ද ඇතුළුව සැකකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර, දැනට වනජීවී ඇප මත මුදාහැර සිටින මොවුන් ඉදිරි දිනයේදී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් එළුවන්කුලම වනජීවී ඒකකයේ නිලධාරීන් වැඩිදුර පුළුල් විමර්ශන පවත්වනවා.