වසර 7ක් තිස්සේ කරගෙන ගිය වනසතුන් දඩයම අහවරයි.. පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මහා පරිමාණ දඩයම මෙන්න..
වසර හතකට ආසන්න කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස වනසතුන් දඩයම් කරමින් මස් ජාවාරමේ නිරත වූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
පොලොන්නරුව වනජීවී කලාපයට අයත් පිඹුරත්තෑව සහ පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලවල නිලධාරීන් එක්ව සිදු කළ හදිසි වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු සිත්තන්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී ඔහු සමඟ සිටි තවත් සැකකරුවන් කිහිපදෙනෙකු වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සඳහන් වෙනවා.
සැකකරු සන්තකයේ තිබී මුව මස් කිලෝග්‍රෑම් 45ක්, යතුරුපැදි 2ක්, ජංගම දුරකථනයක්, දඩයම් කිරීමට යොදාගත් අධි බලැති විදුලි පන්දම්, වෙඩි බෙහෙත් සහ ඊයම් කැබලි සහිත පාර්සලයක් මෙන්ම මස් කැපීමට භාවිත කළ පිහියක් ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, රාජකාරියට බාධා කර පලාගිය අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.