මියගිය පැටවා දින 6ක් කරමත තබාගෙන ගිය ඩොල්ෆින් මවගේ සංවේදී කතාව.. සමාජ මාධ්‍ය කැලඹූ දරු සෙනෙහසේ සංවේගජනක පුවත..
තම පැටවා මියගිය සංවේගජනක දුක දරාගැනීමට නොහැකිව එම මෘත ශරීරය දින හයක් පුරා සිය කරමත තබාගෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ඔබ්බෙන් පිහිටි වෙරළාශ්‍රිත මුහුදු තීරයේ පිහිනූ 'ෆ්‍රැග්ලි' නමැති ඩොල්ෆින් මවකගේ සංවේදී දර්ශන පෙළක් අද වන විට ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි අවධානයට සහ සංවේගයට ලක්ව තිබෙනවා.
තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ කටයුතුවල නිරත වන 'ජියෝග්‍රාෆ් මැරීන් රිසර්ච්' සංවිධානය විසින් මෙම වීඩියෝ දර්ශන නිකුත් කර ඇති අතර, මෙම ඩොල්ෆින් මවගේ මීට පෙර උපත ලැබූ පැටවුන් තිදෙනෙකු ද අවාසනාවන්ත ලෙස මියගොස් තිබූ බව අනාවරණය වුණා.
අධික ශීත දේශගුණික තත්ත්වය මධ්‍යයේ උපත ලබා සති දෙකක් වයසැතිව සිටි මෙම සිවුවැනි ඩොල්ෆින් පැටවා නිවුමෝනියා රෝගී තත්ත්වය වැළඳීමෙන් මියගොස් ඇති අතර, එම සිදුවීමත් සමඟ මෙම අවාසනාවන්ත ඩොල්ෆින් මව සිය මහත් වූ මාතෘ සෙනෙහස සහ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස මියගිය පැටවා දින හයක් තිස්සේ කරමත තබාගෙන පිහිනා තිබෙනවා.
මීට පෙර ද පැටවුන් තිදෙනෙකු අහිමි වීම හේතුවෙන් සත්ව විද්‍යාඥයන් සහ සංරක්ෂකයින් අතර ප්‍රකට චරිතයක් බවට පත්ව සිටි මෙම ඩොල්ෆින් මව මෙවර හෝ සිය පැටවා ජීවත් කරගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත්, එම සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරමින් සිදු වූ මෙම ශෝකජනක සිදුවීම මුළු මහත් ලෝකයේම අවධානයට ලක්වීමට හේතු වුණා.