ඉදිරි දින කිහිපයේදී කාලගුණයෙන් ලොකු වෙනසක්.. ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං..
Thursday, 06 August 2026 - 8:43 | Views - 24

දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටස්වල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මේ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එකී ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව අනාවරණය වුණා.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.
ඊට අමතරව අම්පාර, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ පැමිණිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියලු පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.
Share This Article