දිස්ත්රික්ක රැසකට හදිසි නායයෑමේ අනතුරු ඇඟවීමක්.. මහනුවර ප්රදේශ දෙකකට රතු නිවේදන..
දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තා.
මෙම විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පෙ.ව. 09:00 සිට හෙට පෙ.ව. 09:00 දක්වා ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන බව එම සංවිධානය සඳහන් කළා.
මෙහිදී මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 3 වන මට්ටමේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කළා.
ඊට අමතරව මහනුවර දිස්ත්රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 2 වන මට්ටමේ අවධානයෙන් සිටීමේ ඇම්බර් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එබැවින් අදාළ ප්රදේශවල පස් කඳු කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, කඳු බෑවුම්වල පැලුම් ඇතිවීම් හෝ ජල උල්පත් පහත්වීම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ යම් ස්ථානයක දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.