වෘත්තීය පුහුණුවට ආ 16 හැවිරිදි සිසුවාට අපරාධයක් කළ ගුරුවරයා.. චූදිත ගුරුවරයාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්..
තමා යටතේ වෘත්තීය පුහුණුවක් ලබමින් සිටි 16 හැවිරිදි සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ ගුරුවරයෙකුට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු කනිෂ්ක විජේරත්න අද නියම කළා.
එමෙන්ම, අදාළ චෝදනාව වෙනුවෙන් රුපියල් 15,000ක දඩ මුදලක් සහ අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ගෙවන ලෙසටද විනිසුරුවරයා චූදිතට නියම කළා.
අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර දෙකක අමතර සිර දඬුවමක් සහ දඩ මුදල නොගෙවන්නේ නම් තවත් අමතර මාස හයක සිර දඬුවමක් පනවන බව අධිකරණය දැනුම් දුන්නා.
සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ සහතික කළ පාසලක ආරක්ෂාව යටතේ වෘත්තීය පුහුණුව ලබමින් සිටි 16 හැවිරිදි සිසුවාට සිදුවූ මෙම අපයෝජනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා මගින් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර ඇති බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නා.
මෙලෙස දඬුවම් නියම වූයේ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකුටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2018 වසරේදී සපුගස්කන්ද පොලිසිය විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙනවා.
මෙම නඩුව සඳහා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සචින්තනී ප්‍රනාන්දු පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් සපුගස්කන්ද පොලිසියේ කොස්තාපල් (98628) සඳරුවන් පෙනී සිටි බව වාර්තා වනවා.