අනුන්ගේ පාර්සල් සහ ගමන් මළු ගේන්න එපා.. නොදැනුවත්වම හිරේ වැටෙන ගුවන් මගීන් ගැන හෙළිදරව්ව..
ගුවන් ගමන් හෝ වෙනත් ඕනෑම සංචාරයක නිරත වීමේදී වෙනත් පුද්ගලයන්ට අයත් පාර්සල් හෝ ගමන් බෑග් (Baggage) ලබාගෙන ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව ගුවන්තොටුපළ මගීන් ඇතුළු මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා.
නොදැනුවත්වම මගීන් යොදාගනිමින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කිරීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
තමන් ප්‍රවාහනය කරන්නේ කුමක්දැයි පවා නොදැන සාමාන්‍ය පුද්ගලයින් බරපතල ගණයේ අපරාධවලට හසුවීමේ දැඩි අවදානමක් පවතින බව මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළා.
ඉතා සමීප ඥාතීන් සහ හිතවතුන් පවා නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙලෙස යොදාගනු ලබන බව ඒ මහතා පෙන්වා දුන්නා.
මෑතකදී 19 හැවිරිදි තරුණයෙකුගේ නමින් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන්වීමට උත්සාහ කළ සිදුවීමක් ද වාර්තා වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නා.
තමන් විසින්ම ගමන් බෑගය පරීක්ෂා කළ ද පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය සඟවා තැබීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව පෙන්වා දුන් අතර, 'නොමිලේ ගුවන් ටිකට් පතක් ලබාදී විදේශගත කිරීමට' යම් අයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ පිටුපස ඇති සැබෑ අරමුණ පිළිබඳව දැඩි ලෙස සිතා බලන ලෙසද ප්‍රකාශ කළා.
ලොව බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම වන බැවින්, කිසිදු අවස්ථාවක තමන්ට අයිති නැති භාණ්ඩ හෝ පාර්සල් ප්‍රවාහනය කිරීමට එකඟ නොවන ලෙස ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.