හිරු රාජධර්ම ප්‍රතිපදා පුණ්‍යකර්මය අද කැලණිය පුදබිමේදී.. භික්ෂූන් වහන්සේ දහස් නමක් උදෙසා පිදෙන මහා දානමය පින්කමටත් සියල්ල සූදානම්..
අදට යෙදෙන උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන "හිරු රාජ ධර්ම ප්‍රතිපදා වැඩසටහන" සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.
මෙම මාහැඟි පුණ්‍ය මහෝත්සවයේදී, එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුකරන දැවැන්තම දාන පාරමිතාව ලෙස, දහසක් වූ භික්ෂූන් වහන්සේ විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව දෙවැනි වරටත් පිරිනැමෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මීට අමතරව සත්බුදු වන්දනාව මෙන්ම පුෂ්ප පූජාව සහ සුවඳ දුම් පූජාව සමගින් කැලණිය චෛත්‍ය රාජයාණන් ෂඩ්වර්ණ ආලෝකයෙන් බබළවන මහා ආලෝක පූජාව ද අද පැවැත්වීමට නියමිතයි.
උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මතයි "හිරු රාජ ධර්ම ප්‍රතිපදා" වැඩසටහන පැවැත්වෙන්නේ.
ඒ අනුව, දාන, ශීල, භාවනා ආදී පුණ්‍ය ක්‍රියා රැසක් අද දවස පුරා කැලණිය පින්බිමේදී පැවැත්වෙනවා.
මෙම මහා දානමය පින්කම වෙනුවෙන් දිගින් මීටර 300 ඉක්ම වූ දාන ශාලාවක් මෙවරත් සකස් වන අතර එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙරට සකස් කරන ලද විශාලතම දාන ශාලාව වීම ද විශේෂත්වයක්.
හිරු රාජ ධර්ම ප්‍රතිපදා වැඩසටහනට සමගාමීව අද දිනය පුරා ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් තවත් ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.
ඒ අනුව, කල්ප සියයක් මෙපිට ලොව පහළ වූ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත් බුදුවරුන්ගේ අප්‍රමාණ ගුණ කදම්භය වන්දනා කරමින් සිදු කෙරෙන සත්බුදු වන්දනාව ද පස්වරුවේ සිදුකෙරෙනවා.
අනතුරුව සුවඳ මල් පුදා, සුවඳ දුම් ගල්වා කැලණිය මහා සෑය ෂඩ්වර්ණාලෝකයෙන් ඒකාලෝක කර කැලණි පුදබිම විදුලි ආලෝකයෙන් සරසවන ඒ මහා අලෝක පූජාව පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
එතෙක් මෙතෙක් කැලණිය පුදබිමේ සිදු කෙරෙන මෙම මහා උත්තරීතර වන්දනාවේ අනුහස් ලැබ කොටස්කරුවෙකු වන්නට සැදැහැවත් ඔබටත් අප ආරාධනා කර සිටිමු.