දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නැටුම් එකවරම අවලංගු කරයි.. පොලිස්පතිගෙන් දිස්ත්‍රික් ලේකම්ට ආ හදිසි නියෝගය...
දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පැවැත්වීමට නියමිත කාවඩි නර්තන අංගය තාවකාලිකව පෙරහැරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව නිල නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළා. ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබා දී ඇති බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව පොලිස්පතිවරයා යොමු කළ ලිපියේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න විසින්, දෙවිනුවර බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංකට පෙරහැරේ කාවාඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නා.
ලැබී ඇති බුද්ධි වාර්තාවලට අනුව, මෙවර කාවඩි කණ්ඩායම් තෝරා ගැනීමේදී සංවිධානාත්මක අපරාධකරුවන් වන 'දෙහි බාලේ මල්ලී' සහ 'උණාකුරුවේ ශාන්ත' යන පාර්ශ්ව අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. පසුගිය වසරේදී විනය විරෝධී ලෙස හැසිරුණු කාවඩි කණ්ඩායම් කිහිපයක් මෙවර ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වූ බව වාර්තා වුණා.
විදේශගතව සිටින 'කංජිපානි ඉම්රාන්' නැමැති අපරාධකරු, තමන්ගේ පාර්ශ්වයේ කාවාඩි කණ්ඩායම්වලට අවස්ථාව නොදුනහොත් පෙරහැර පැවැත්වීමේදී ගැටලු ඇතිවිය හැකි බවට සහ පෙරහැරට නායකත්වය දෙන බස්නායක නිලමේවරයාටද මරණ තර්ජනය කළ බවට වූ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
ඊට ප්‍රතිචාර වශයෙන් 'දෙහි බාලේ මල්ලී' නැමැත්තා ද තර්ජනාත්මක හඬපට නිකුත් කර තිබෙන අතර, මෙම තර්ජනාත්මක හඬපට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වූ බවයි වාර්තාකරු සඳහන් කළා.