මිහිරි පැතුමන් තුරුළු කරන් අවසන් ගමන් ගිය හිරණ සුන්දර යෞවනිය.. මුළු පානදුරම කඳුළින් තෙත් වූ ඒ අවාසනාවන්ත මොහොත...
ජීවිතයේ සුන්දරම යෞවන වියේ පසුවෙමින්, අනාගතය පිළිබඳ දහසක් බලාපොරොත්තු හදවතේ තදින් තද කරගෙන සිටි සුන්දර යුවතියකගේ හදිසි නික්ම යාම පිළිබඳව සංවේදී පුවතක් පානදුර, හිරණ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස සිය ජීවන ගමනට සමුදුන්නේ හිරණ ප්‍රදේශයේ පදිංචිව සිටි විසි හැවිරිදි වියේ පසුවූ ඕදිත්‍යා මුතුමාලි විජේසේකර නැමැති දියණියයි.
පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව හදාරමින් සිටි අතිශය රූමත් ශිෂ්‍යාවක වන ඕදිත්‍යා, හදිසියේ ඇති වූ ශ්වසන අපහසුතා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස සඳහටම දෙනෙත් පියා ගත් බවයි ඇගේ ඥාතීන් සඳහන් කළා. කුඩා කාලයේ සිටම වරින් වර උත්සන්න වන මෙම ශ්වසන අපහසුතාව නිසා ඈ පීඩා වින්දත්, මෙතරම් ඉක්මනින් ඇය සැවොම තනිකර යනු ඇතැයි කිසිවෙකුත් මොහොතකටවත් සිතා තිබුණේ නැහැ. මීට පෙරද අවස්ථා ගණනාවකදීම ඇයට හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වූ විට රෝහල්ගත කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබා සුවය ලබා නිවසට පැමිණීමට ඇයට හැකියාව ලැබුණා.
එහෙත් පසුගිය 21 වනදා මරණය ඇය සොයා පැමිණියේ කිසිවෙකුටත් සිතාගැනීමටවත් ඉඩක් නොතබමින්. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වය හමුවේ වෙනදා මෙන් පානදුර රෝහල වෙත ඇයව රැගෙන යාමට දෙමාපියන් කටයුතු කළා. රෝහලට යන විටත් තමන්ගේම දෙපයින් ඇවිදගෙන ගොස් වෛද්‍යවරයා හමු වූ ඕදිත්‍යා, පැය භාගයක් වැනි කෙටි කාලයක් ඇතුළත සියල්ලන්ම දැඩි කම්පනයකට පත් කරමින් අවසන් හුස්ම හෙළුවා.
හිරණ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරික විජේසේකර සහ නිලංතිකා යුවළගේ වැඩිමහලු දියණිය වූ ඕදිත්‍යා, 16 හැවිරිදි ආදිත්‍යගේ සහ 13 හැවිරිදි අමොද්‍යාගේ ආදරණීය අක්කා වනවා. පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය, ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්ව බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවා. පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 'ඒ' සාමාර්ථ 8ක් සහ 'බී' සාමාර්ථයක් සහිතව අතිදක්ෂ ලෙස සමත් වීමටද ඇය සමත් වූ බවයි ඇගේ ඥාතීන් ප්‍රකාශ කළා.
උසස් අධ්‍යාපනය ලෙස මනෝවිද්‍යාව හදාරමින් සිටියද, ඕදිත්‍යාගේ එකම සිහිනය වී තිබුණේ දිනෙක ගුවන් සේවිකාවක ලෙස අහස් කුස ජය ගැනීමයි. එහෙත් ඒ සුන්දර හීන සියල්ල පස් යට තැන්පත් කරමින්, මුළු හිරණ ගමම සෝක සගරාවක ගිල්වමින් ඕදිත්‍යා දියණිය පසුගිය 24 වනදා සිය අවසන් ගමන් ගියා. නොසිතූ මොහොතක සමුගත් ඒ සුන්දර යෞවනියට නිවන් සුව පතමු!