මෙරට තනිව ජීවත්වන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් වැඩිහිටි කාන්තාවන්.. ජන සංගණන සමීක්ෂණයෙන් හෙළිවූ අලුත්ම තොරතුරු...
මෙරට තනිව ජීවත්වන පුද්ගලයන් තුන්ලක්ෂ හැත්තෑදහස් දෙසිය විසිනවදෙනෙකුගෙන් (370,229) බහුතර පිරිසක් වන දෙලක්ෂ හැටහතරදහස් එකසිය විසිහත් දෙනෙකු (264,127) වැඩිහිටි කාන්තාවන් බව ජන හා නිවාස සංගණන සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
මෙරට කාන්තාවන්, පිරිමින්ට වඩා වැඩි ආයු කාලයක් ජීවත්වීමේ ප්‍රවණතාවක් පවතින බවද මෙම සමීක්ෂණයේදී හඳුනාගත් බව වාර්තා වුණා.
සාම්ප්‍රදායානුකූලව සිදුවන විවාහවලදී බිරිඳ සැමියාට වඩා වයසින් අඩුවීම හේතුවෙන් බොහෝ අවස්ථාවලදී කාන්තාවන්ට සැමියාගේ අභාවයෙන් පසු තනිව ජීවත්වීමට සිදුවීමද මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව පෙන්වා දුන්නා.
වැඩිහිටි කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් තම ජීවිතයේ අවසාන අවදිය තනිව හෝ සීමිත පවුල් සහායක් සහිත පරිසරයක ගත කරන අතර, ඔවුන් සඳහා ඉලක්කගත මූල්‍ය ආරක්ෂණ සහ නිවාස ආරක්ෂණ වැඩසටහන් අවශ්‍ය වී ඇති බව අදාළ සමීක්ෂණය මගින් අවධාරණය කළා.
ජාතික පුමිතිරි අනුපාතයට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි බව පෙන්නුම් කළද, වයස්ගත විවාහක ව්‍යුහයන් තුළ මෙය විශාල අසමතුලිතතාවක් බවට පත්ව තිබෙන බව සඳහන් කළා.
ඒ අනුව වැඩිහිටි කාන්තාවන්ගෙන් සැලකිය යුතු කොටසක් තම ජීවිතයේ පසු අවදිය සැමියාගේ සහාය නොමැතිව ගත කරන බව පැහැදිලි වන බවද ප්‍රකාශ කළා. මෙම තත්ත්වය මත එම කාන්තාවන්ට ස්වාධීන ජීවනෝපායක්, මූල්‍ය සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා ඉලක්කගත ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන් සංවර්ධනය කිරීම සම්බන්ධව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ජන හා නිවාස සංගණන සමීක්ෂණයේදී වැඩිදුරටත් හඳුනාගෙන තිබෙනවා.