ඔලිම්පික් උළෙලට ස්ථිර නගරයක්...? ඔලිම්පික් සත්කාරකත්වයේ ආර්ථික බර ගැන ඔබ මෙතෙක් නොඇසූ කතාවක් මෙන්න.
අපි හැමවිටටම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන කතා කරන්නේ හරිම ආශ්වාදජනක ලෙස සහ දැඩි උනන්දුවකින්. ලොව පුරා වෙසෙන සුවහසක් වූ ජනතාව ඇත්තෙන්ම මේ ක්‍රීඩා උළෙල සඳහා දැඩි උනන්දුවක් දක්වනවා.
ඒත් දැන් දැන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචි කිහිපයක්. මේවා මින් පෙර නෑසූ සුපුරුදු කතාවලට එහා ගිය කතා පෙලක් කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද..?
ලොව විශාලතම සහ උතුම්ම ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් තරගාවලිය වර්තමානයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව ඔබ දන්නවාද..? අතීතයේදී ඔලිම්පික් සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ලෝකයේ ප්‍රමුඛ නගර අතර දැඩි තරගයක් පැවතියද, අද වන විට එම තරගකාරීත්වය මුළුමනින්ම පාහේ නැතීවී ගොස් තිබෙනවා.
2024 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල සඳහා ඉතිරි වූයේ නගර දෙකක් පමණයි. ඒ පැරිස් (ප්‍රංශය) සහ ලොස් ඇන්ජලීස් (ඇමෙරිකා එක්සත් ජනපදය) යන නගර ද්විත්වයයි. 2028 උළෙල සඳහා කිසිදු නගරයක් ඉදිරිපත් නොවනු ඇතැයි බියෙන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) එකවරම 2024 පැරිසියටත්, 2028 ලොස් ඇන්ජලීස් වෙතත් පවරා දීමට තීරණය කළේ අන්න ඒ නිසාදෝ යැයි විටක කෙනෙකුට සිතෙන්නට පුළුවන්.
මෙම පසුබිම හමුවේ ක්‍රීඩා ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් නගින ප්‍රධානම ප්‍රශ්නය වන්නේ, "සෑම වසර හතරකට වරක් වෙනස් වන නගර තෝරාගනු වෙනුවට, ඔලිම්පික් උළෙල සඳහා ස්ථිර සත්කාරක නගරයක් (Permanent Host City) ස්ථාපිත කළ යුතුද?" යන්නයි.
කෙසේ හෝ, ඇන්ඩෲ සීම්බලිස්ට් (Andrew Zimbalist) වැනි ප්‍රකට ක්‍රීඩා ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීම නගරයකට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් වන බවයි.
නව ක්‍රීඩාංගණ, ක්‍රීඩක ගම්මාන සහ ප්‍රවාහන යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන ගණනින් මුදල් වැය වෙන අතරම, උළෙල අවසන් වූ පසු බොහෝ ක්‍රීඩාංගණ නඩත්තු කිරීමට නොහැකිව විනාශ වී යාමත් මේ අතර කැපී පෙනෙනවා. උදාහරණ ලෙස 2004 ඇතැන්ස් සහ 2016 රියෝ ද ජනෙයිරෝ උළෙලවල්වල ක්‍රීඩාංගණ පෙන්වාදිය හැකියි.
එසේම යටිතල පහසුකම් හැදීමට සාමාන්‍ය ජනතාව නිවෙස්වලින් ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන් සමාජීය ගැටලු නිර්මාණය වෙනවා. මෙම දැවැන්ත පාඩුව නිසා ලෝකයේ දියුණු නගර ඔලිම්පික් සත්කාරකත්වය සඳහා ලංසු තැබීමෙන් ඉවත් වීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් ඔලිම්පික් උළෙලට ස්ථිර ස්ථානයක් පැවරීමෙන් ලබාගත හැකි වාසි රැසක් වූ නමුත්, ස්ථිර සත්කාරක නගරයක් තෝරාගැනීමේදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් ද මතුවීමේ ඉඩකඩක් පවතිනවා. දේශපාලනික සහ භූ-දේශපාලනික, සංස්කෘතික විවිධත්වය සහ නඩත්තු බර ඒ අතරින් කිහිපයක්.
කෙසේ වෙතත්, එකම ස්ථිර නගරයකට ඔලිම්පික් උළෙල සීමා කිරීම භූ-දේශපාලනිකව අභියෝගාත්මක විය හැකි නමුත්, පවතින ක්‍රීඩාංගණ සහිත නගර කිහිපයක් අතර පමණක් ඔලිම්පික් උළෙල හුවමාරු වන (Rotating Permanent Hosts) ක්‍රමවේදයක් අනාගතයේදී නිර්මාණය වීමට වැඩි ඉඩකඩක් පවතින බවත් ලොව ඇතැම් ප්‍රබල විචාරකයින් විශ්වාසය පළකරනවා.
BBC ඇසුරෙන්..