2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා... විභාග දෙපාර්තමේන්තුවෙන් අයදුම්කරුවන්ට දුන් වැදගත් උපදෙස් මෙන්න...
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී, II වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 09:30 සිට පෙ.ව. 10:45 දක්වාත්, I වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 11:15 සිට ප.ව. 12:15 දක්වාත් කාලය ලබා දී තිබෙන බවද අදාළ නිවේදනයේ සඳහන් කළා.
මෙම විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
එමෙන්ම, එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම්, අද (23) සිට අගෝස්තු මස 03 වන දින දක්වා කාලය තුළ මාර්ගගතව (Online) විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළා.