ජූනි මාසයේදී බඩු මිල තවත් ඉහළට.. උද්ධමන අනුපාතය ගැන ඇසුණු අලුත්ම විස්තරය මෙන්න..
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) පදනම් කරගත් ලක්ෂ්‍යමය උද්ධමනය 6.5% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පසුගිය මැයි මාසයේදී 5.4%ක් ලෙස පැවැති උද්ධමන අනුපාතය මෙලෙස ඉහළ ගොස් තිබෙනවා. එම දෙපාර්තමේන්තු දත්තවලට අනුව, මැයි මාසයේදී 1.5%ක් ලෙස සටහන් වූ ආහාර උද්ධමනය ජූනි මාසයේදී 3.3% දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන උද්ධමනය ද 8.6% සිට 9.3% දක්වා ඉහළ ගිය බව වාර්තා වුණා.
මාසික පදනමින් සැලකීමේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය මැයි මාසයේ පැවැති 218.8 සිට ජූනි මාසයේදී 222.3 දක්වා 1.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසික වර්ධනය සඳහා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම 1.11%කින් ද, ආහාර නොවන ද්‍රව්‍යවල මිල ඉහළ යාම 0.49%කින් ද දායක වී තිබෙනවා.
මීට අමතරව, ආහාර, බලශක්ති සහ ප්‍රවාහන මිල ගණන් හැර ගණනය කරනු ලබන මූලික උද්ධමනය ජූනි මාසයේදී ලක්ෂ්‍යමය පදනමින් 5.0% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මාසික පදනමින් 0.8%ක වර්ධනයක් බව ද අදාළ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.