විශ්වවිද්‍යාල ඩෙංගු මර්දනයට දැවැන්ත පියවරක්.. නව සම්මත මාර්ගෝපදේශ මාලාව හෙට සිට ක්‍රියාත්මකයි..
මෙරට සියලුම විශ්වවිද්‍යාල පද්ධතිය ඉලක්ක කරගනිමින් ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා.
මෙම සුවිශේෂී මාර්ගෝපදේශ පද්ධතිය හෙට (20) දින නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනා ගැනීම, ආසාදිත රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණ යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීම මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වා දීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණක් වෙනවා.
අධ්‍යයන අංශ තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය දිනවල දිවයිනේ ප්රමුඛ විශ්වවිද්‍යාල කිහිපයක්ම තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ක්‍රියාවට නැංවීම තුළින් ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට අපේක්ෂා කරනවා.