බල්ගේරියාවට ප්‍රථම Eurovision කිරුළ හිමිවෙයි.. සුපිරි ගායිකා Dara ගේ ලෝකයම හෙල්ලූ ගීතය මෙන්න..
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision ගීත තරගාවලිය - 2026" ඔස්ට්‍රියාවේ වියානා නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වෙලා තිබෙනවා.
මෙවර තරගාවලියේ සමස්ත කිරුළ දිනා ගැනීමට සමත් වූයේ බල්ගේරියානු ජාතික 27 හැවිරිදි සුපිරි පොප් ගායිකා ඩාරා (Dara) යි.
ඇය ගායනා කළ 'Bangaranga' නමැති වේග රිද්ම ගීතය ප්‍රේක්ෂකයින් මෙන්ම විනිශ්චය මණ්ඩලය ද එකලෙස මුසපත් කළ බව විචාරකයින් ප්‍රකාශ කළා.
තරගාවලිය ආරම්භ වීමට පෙර ඩාරා ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළ කර නොතිබුණ ද, ඇයගේ සුවිශේෂී රංග වින්‍යාසය (Choreography) හා ආකර්ෂණීය ගායන විලාසය හේතුවෙන් ලකුණු 516ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ඇය පෙරමුණට පැමිණියාය.
බල්ගේරියාව යුරෝවිෂන් ඉතිහාසයේ මෙවැනි කිරුළක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වන බව සංවිධායක මණ්ඩලය තහවුරු කළා.
මෙහි දෙවැනි ස්ථානය ඊශ්‍රායලයටත් (ලකුණු 343), තෙවැනි ස්ථානය රුමේනියාවටත් (ලකුණු 296) හිමි විය.
'Bangaranga' යනු ජැමෙයිකානු බසින් "කෝලහාලය" හෝ "දැඩි ඝෝෂාව" යන අර්ථය දන්නා වචනයකි. ඩාරා පවසන පරිදි මෙම ගීතය නිර්මාණය වී තිබෙන්නේ ඇය පසුගිය වසරේ මුහුණ දුන් අධික මානසික ආතතිය (Anxiety) සහ අවධානය අඩුවීමේ සෞඛ්‍ය තත්ත්වයට (ADHD) එරෙහිව නැගී සිටි ආකාරය පිළිබඳවයි.
ඇයගේ මෙම ඉදිරිපත් කිරීම සඳහා පැරණි බල්ගේරියානු සංස්කෘතික 'කුකේරි' (Kukeri) නර්තන කලාව මුසු කර තිබීම විශේෂත්වයක් වූ අතර, හොඳම වේදිකා නිර්මාණයට හිමි සම්මානය ද ඇයට හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බල්ගේරියාව ඉතිහාසගත ජයක්‍රහණයක් ලබද්දී, බ්‍රිතාන්‍යය නියෝජනය කළ 'Look Mum No Computer' කණ්ඩායමේ 'Eins, Zwei, Drei' ගීතයට හිමිවූයේ ලකුණු ලැයිස්තුවේ අවසන් ස්ථානයයි.
ඔවුන්ට සමස්ත තරගාවලියෙන්ම ලබාගත හැකි වූයේ යුක්රේන විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු එකම එක ලකුණක් පමණි. බ්‍රිතාන්‍යය යුරෝවිෂන් තරගාවලියක අවසන් ස්ථානයට පත් වූ තෙවන අවස්ථාව මෙය ලෙස සටහන් වෙනවා.
1956 වසරේදී රටවල් 7ක සහභාගිත්වයෙන් ආරම්භ වූ යුරෝවිෂන් තරගාවලියට වසර 70ක් පිරීම නිමිත්තෙන් මෙවර වියානා වේදිකාවේ සුවිශේෂී උපහාරාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.
ලබන වසරේ (2027) යුරෝවිෂන් ගීත තරගාවලිය බල්ගේරියාවේ අගනුවර වන සෝෆියා (Sofia) හිදී පැවැත්වීමට නියමිත බව බල්ගේරියානු ජාතික රූපවාහිනිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මූලාශ්‍රය | බීබීසී