Star Wars රසිකයින්ට සුබ ආරංචියක්.. 'The Mandalorian' හා 'Baby Yoda'ගේ අලුත්ම සිනමා අත්දැකීම.
"Star Wars" ටෙලි කතා මාලාවන් අතරින් ලොව පුරා ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්වූ චරිත දෙකක් වන්නේ පේඩ්‍රෝ පැස්කල් (Pedro Pascal) විසින් රඟපාන 'The Mandalorian' හා 'Baby Yoda' ලෙස කා අතරත් ප්‍රකට කුඩා කොළ පැහැති 'Grogu' චරිතයයි.
දැන් මේ සුපිරි සුසංයෝගයටම වෙන්වූ අලුත්ම සිනමා පටය වන "The Mandalorian and Grogu" එළඹෙන මැයි 22 වනදා සිට ජාත්‍යන්තර වශයෙන් තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.
මෙය 2019 වසරේ තිරගත වූ "The Rise of Skywalker" චිත්‍රපටයෙන් පසුව සිනමා ශාලා වෙත පැමිණෙන පළමු නවතම Star Wars සිනමා පටය වීමද විශේෂත්වයක්.
මෑතකදී නිකුත් වූ මෙහි නිල ප්‍රචාරක පටය මගින් දැවැන්ත සටන්, අති දැවැන්ත ජීවීන්, X-Wing Fighters හා AT-ATs වැනි සිනමා ලෝලීන් ප්‍රිය කරන දර්ශන රැසක් ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
මේ චරිත ද්විත්වය මීට පෙර රූපවාහිනී කතා මාලාව තුනක් පුරා දිග හැරුණු බැවින්, ඔවුන්ව සිනමා තිරයකට ගෙන ඒම සාධාරණද යන ප්‍රශ්නය ඇතැම් විචාරකයින් මතු කරලා තිබෙනවා.
සිනමා ශාලාවලට පැමිණෙන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තමන් මෙවර නිර්මාණයේ ගුණාත්මකභාවය බෙහෙවින් ඉහළ නංවා ඇති බව අධ්‍යක්ෂ හා සම-ලේඛක ජෝන් ෆැව්රෝ (Jon Favreau) Games Radar වෙත අදහස් දක්වමින් කියා සිටියා.
විශේෂයෙන්ම IMAX තිරයන්හි Taller Aspect Ratios හා සිනමා තිරයම පිරී යන ආකාරයේ දැවැන්ත දර්ශන තල යොදාගනිමින් ප්‍රේක්ෂකයින්ව සැබෑ පාරිසරික අත්දැකීමකට රැගෙන යාමට කටයුතු කළ බව ඔහු අවධාරණය කළා.
හොලිවුඩ් සිනමා ලෝලීන් මෙන්ම විශේෂයෙන්ම Star Wars රසිකයින් දැඩි උනන්දුවකින් බලා සිටින මේ සිනමා පටය, එළඹෙන මැයි 22 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.