මිල්ලනියේ දෙදරු මවගේ මරණයේ අබිරහස විසඳෙයි.. වෛද්‍ය වාර්තාවෙන් හෙළිවූ මරණයේ සුලමුල..
මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ නිවසක් තුළදී 58 හැවිරිදි දෙදරු මවක ගෙල හා මුඛය තෙරපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් පොල් කඩන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.
ඉකුත් 11 වනදා මෙම කාන්තාව නිවස තුළ මියගොස් සිටින බවට අසල්වාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණා.
මූලික නිරීක්ෂණවලදී කිසිදු සැකයක් මතු නොවූ බැවින්, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත යොමුකිරීමට පියවර ගත්තා.
කෙසේවෙතත්, වෛද්‍ය පරීක්ෂණවලදී මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ දක්නට ලැබුණු තැලුම් සලකුණු හේතුවෙන් මෙය සැක සහිත මරණයක් බවට වෛද්‍යවරුන් විසින් පොලිසියට දැනුම් දුන්නා.
අධිකරණ නියෝග මත හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.
ශ්වසනය අවහිර වන ආකාරයට නාසය, මුඛය හා ගෙල බාහිර බලයකින් තෙරපීම නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බව එහිදී අනාවරණය වුණා.
වෛද්‍ය වාර්තාවෙන් පසුව ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලිසිය විසින් සිදු කළ පුළුල් විමර්ශනයකින් පසු මේ ඝාතනයට සම්බන්ධ සැකකාර පොල්කඩන්නා අත්අඩංගුවට ගත්තා.
සැකකරු අද (15) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය තහවුරු කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.