"මේ තියෙන්නේ මම අලවපු ස්ටිකර් එකත් තවම... මේ ටීවී දැන් වැඩක් නෑ.." උකසට සින්නවූ රූපවාහිනිය හදන්න ගියාට පස්සේ ඇසුණු ආරංචියෙන් ඔහුගේ ඇස් මවිත වෙයි..
Sunday, 21 September 2025 - 11:04 | Views - 141
ඔහු මේ සිද්ධියේ මුල සිටම කළේ වංචාවයි.

ඒ බව මේ රූපවාහිනිය උකසට ගත් පුද්ගලයා නොදැන සිටියේ මෙය ලබාදී, මුදල් ලබාගත් පුද්ගලයා ගැන යම්තාක් හෝ විශ්වාසයක් ඔහුට තිබුණු නිසා වෙන්න ඇති. 


උකසට ගෙන නියමිත කාලයේ දී බේරා නොගැනීම නිසා සින්න වූ රූපවාහිනී යන්ත්‍රයක් වෙනත් අයකුට අලෙවි කිරීමට පෙර එය කාර්මිකයකු ලවා සිදුකළ පරීක්ෂාවකින් පසුව යක්ෂාවේෂ වූ බව කියන එහි නව හිමිකරු එය තමන්ට උකස්කළ පුද්ගලයා සොයා ගොස් ඔහු ඉදිරිපිටදීම අදාළ රූපවාහිනි යන්ත්‍රය කෑලි කෑලිවලට කුඩුපට්ටම් වනසේ පොළොවේ ගසා ආපසු පැමිණි පුවතක් උතුරුමැද පළාතේ ගොවි ජනපදයකින් පසුගියදා අසන්නට ලැබුණා.

කෘෂිකර්මාන්තයේ නියැලීම මෙන්ම ගමේ ගොඩේ නිෂ්පාදනය කෙරෙන කෘෂි බෝග ආදිය ද මිලදී ගෙන අනතුරුව ඒවා දුරබැහැර ප්‍රදේශවලට යවා අලෙවි කිරීම සිය ජීවනෝපාය කරගත් මැදි වයසේ විවාහක පුද්ගලයකු තමන් එතෙක් දුක් මහන්සියෙන් හරිහම්බකර ගත් මිල මුදල් පුළුවන් කාලයේදී තව තවත් වර්ධනයකර ගැනීමේ අරමුණෙන් මීට වසරකට පමණ ඉහතදී භාණ්ඩ උකසට ගැනීමේ ව්‍යාපාරයක් සිය බිරියගේ ද අනුමැතියට යටත්ව සිය නිවස තුළම සුළුවට ආරම්භකර තිබුණා.


උකසට ගන්නා කිසියම් භාණ්ඩයක් එය ගිවිසගත් ආකාරයට ගිවිසගත් දිනට උකස්කළ කෙනා විසින් බේරා නොගැනීමක් නිසා යම් ආකාරයකින් සින්නවීමක් හෙම වුවහොත් එම භාණ්ඩය ඉතා අඩු මුදලකට හෝ විකුණා අඩුතරමින් තමන් එම භාණ්ඩයට ගෙවූ මුදලවත් පියවා ගැනීමට ද ඔහු කටයුතු කරනවා.

ඒ අනුව සින්නවූ අදාළ රූපවාහිනී යන්ත්‍රය ‘විකිණීමට’ යනුවෙන් සටහනක් තැබූ කොළ කැබැල්ලක් ද එහි අලවා එය සිය නිවසෙහිම කොටසක ප්‍රදර්ශනයකර ඇත. මේ පිළිබඳව ලද ආරංචියකට අසල්වැසි ගමකින් එහි පැමිණි පුද්ගලයෙකු රූපවාහිනී යන්ත්‍රය මිලදී ගැනීමට කැමැත්ත පළකර ගනුදෙනු ආදියද කතාබස්කර ගැනීමෙන් අනතුරුව යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂාකර බැලීමට එය නිවසේ විදුලි පේනුවකට සම්බන්ධ කර ඇතත් එහිදී අදාළ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වී නැති බවත් පැවසෙනවා.

රූපවාහිනී යන්ත්‍රය මාස කිහිපයක් තිස්සේ භාවිතයට නොගෙන තිබීම නිසා ඇතැම් විට මෙවැනි තත්ත්වයක් උදාවන්නට ඇතැයි අනුමාන කරමින් එය ඊට අදාළ කාර්මිකයෙකු ලවා පරීක්ෂකර බලා කිසියම් දෝෂයක් ඇත්නම් එය යථාතත්වයට පත්කර පණිවිඩයක් එවන බව එය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයාට මෙහිදී එය උගසට ගත් පුද්ගලයා පවසා ඇති බවද පැවසෙනවා.

ඒ අනුව ඔහු එදිනම සිය බිරිඳගේද සහය ඇතිව ත්‍රිරෝද රථයකින් යාබද ගමක පලපුරුදු කාර්මිකයකු වෙතට රූපවාහිනී යන්ත්‍රය රැගෙන ගොස් ඇති බවත් එහිදී එය එකින් එක සීරුමාරුවට පරික්ෂාකර ඇති කාර්මිකයා අන්තිමට කී දෙයින් එය රැගෙන ආ පුද්ගලයා මෙසේ යක්ෂාවේෂව ඇති අතර, "මේක මේ ඔයාට උකස් කරන්නත් කලින් වැඩ නොකර තිබූ ටීවී එකක්නෙ. මීට කලිනුත් මට මතකයි මං ගාවට හදන්න ගෙනත් බෑ කියල ආපහු යවපු ටීවී එකක් මේක. මේ තියෙන්නෙ මම අලවපු ස්ටිකර් එකත් තවම. මේ ටීවී දැන් වැඩක් නෑ . මේව මේ ගෙවල්වලින් අයින් කරන ඒවා. හදන්න බඩුත් හොයා ගන්න අමාරුයි. ඇයි බලල නෙවෙයිද ගත්තෙ. මේක ගොඩදාන්න වියදම් කරනවට වඩා ලාබයි අද කාලෙ අලු‍තින්ම ටී.වී එකක් ගන්න එක. මන්ද ඉතිං හොඳ විදියක්. ඒත් ඉතිං අපරාදෙ සල්ලි." කාර්මිකයා එසේ පවසා තිබුණා.

ඒ අනුව යළි කාර්මිකයා ලවා අමුණා ඔහුගේම සහායෙන් ආපසු ත්‍රිරෝද රථයට පටවාගත් අදාළ රූපවාහිනී යන්ත්‍රය තමන්ගේ නිවෙසට රැගෙන යනවා වෙනුවට එය තමන්ට උකස්කළ පුද්ගලයාගේ නිවෙසට ගොස් ඔහු සාමාන්‍ය භාෂාවෙන් ආමන්ත්‍රණයකර ගෙහිමියා නිවසින් ගෙමිදුලට ගෙන්වා ගෙන ඇති බවත් අනතුරුව ඔහු පසුව සිය බිරිඳගේද සහයෙන් වදෙන් පොරෙන් ත්‍රිරෝද රථයෙන් එළියට ගෙන ඇති රූපවාහිනී යන්ත්‍රය එක්වරම දෑතින් ඔසොවා ගෙහිමියා ඉදිරියේම පොළොවේ ගසා ඇති ඔහු යක්ෂාවේෂයෙන්ම ‘මට පාඩු වුණාට කමක් නෑ. වංචාකාරයා මේක තියාගෙන මැල්ලු‍ම් හදල කනවා. මේවගේ කරන්න එපා’ ඇතුළුව තවත් මොන මොනව දෝ දේවල් කියමින්ම බිරිඳත් කැටිව රථයට නැගී එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණේ සිදුවූ පාඩුව ඔහුම දරාගෙනයි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top