අතේ හැඩයෙන් කියවෙන ජීවන රහස්
Tuesday, 11 April 2017 - 8:47 | Views - 10,368
ළදරු අධ්‍යාපන ක්‍රමයේ දී දරුවකුට අකුරු උගැන්වීමට පෙර, අතින් කරන ක්‍රියා කාරකම් උගන්වයි. අතින් කරන බොහෝ දේ නිසා දරුවාගේ මනස ක්‍රමයෙන් වැඩෙයි.වැඩුණු පිරිමින්ගේ හා කාන්තාවන්ගේ අත් විවිධාකාර හැඩයෙන් යුක්‌තය. සාමාන්‍ය වශයෙන් පිරිමින්ගේ අත්ල ගොරෝසුය. ඇඟිලි මහත්ය. කාන්තාවන්ගේ අත්ල සියුමැලිය. ඇඟිලි සිහින්ය. දික්‌ය. අත් විවිධාකාර වුවද සාමුද්‍රිකා ශාස්‌ත්‍රයේ දී අත්ලේ හැඩය අනුව වර්ග කීපයකට බෙදා ඇත.

මූලික අත, හතරැස්‌ අත, කාර්මික අත, දාර්ශනික අත, කලාකාමී අත, චෛතසික අත, මිශ්‍ර අත යනුවෙන් වර්ග හතකි. මේ එක්‌ එක්‌ අතක්‌ හිමි අයකුට පොදු වූ ලක්‍ෂණ මොනවා දැයි බලමු.

මූලික අත -

අග මහත් වූ කෙටි ඇඟිලි වලින් යුක්‌ත හස්‌තය මූලික හස්‌තය වශයෙන් හැඳින්වේ. අත්ල ඉතා ගොරෝසුය. බර වැඩ කිරීමෙහි දක්‍ෂය. තම ජීවිකාව ගෙන යැම සඳහා ශරීරය මහන්සි වී කරන රක්‍ෂාවල යෙදීමට සිදුවේ. බොහෝ කම්කරුවෝ මෙවැනි අත්වලට හිමිකම් දරයි. මෙවැනි අත්වලට හිමිකම් දරන කාන්තාවෝද ශරීරය වෙහෙසවා වැඩ කරති. බුද්ධිමත් නොවේ. නපුරු ගතිගුණ පිහිටයි. තම ආශාවන් මුදුන්පත් කර ගැනීම සඳහා තිරිසන්නු මෙන් ක්‍රියා කරති. අත්ලේ රේඛා අඩුය. සමහර විට, ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘද රේඛාව පමණක්‌ ඇත. අනෙක්‌ රේඛා දක්‌නට නොමැත.

හතරැස්‌ අත -

මැණික්‌ කටුව අසල සහ ඇඟිලි මුල එක සමානව පිහිටා ඇති චතුරශ්‍ර හස්‌තය මේ නමින් හැඳින්වේ. මෙබඳු අයට ඕනෑම දෙයක්‌ වහා අවබෝධ වීමේ ශක්‌තිය ඇත. කෙනෙකු යමක්‌ කරනු දුටු විට, ඒ දෙස බලා සිට එය කිරීමට ඉගෙන ගනියි. නීති ගරුක බව, පොරොන්දු ඉටු කිරීමට කැපවීම මොවුන් තුළ ඇති යහපත් ලක්‍ෂණ වේ. නීතිවේදීන්ට වෛද්‍යවරුන්ට දක්‍ෂ ව්‍යාපාරිකයන්ට මෙම අත්ල බොහෝවිට හිමි වේ. පමණට වඩා සිතන්නට යැමෙන් සමහර වැඩ අතපසු කර ගැනීම පවතින දුර්වල කමකි.

කාර්මික අත -

පිළිවෙළකට නැති විවිධ හැඩයෙන් යුක්‌ත වකුටු වූ හස්‌තය, කාර්මික අත නමින් ප්‍රකටය. මැණික්‌ කටුව ළඟ සිහින්ව ඇඟිලි මුල මහත්ව පිහිටීම විශේෂ ලක්‍ෂණයකි. පළල් වූ නිය පිහිටා ඇත. ගොඩනැඟිලි කාර්මිකයන්, වාහන හා යන්ත්‍ර කාර්මිකයන්, ඉංජිනේරු ශිල්පීන් මෙම අත් හිමි අය වේ. නව නිපැයුම් කිරීමට ඉතා දක්‍ෂයෝය. නව නිර්මාණ කරුවෝය. වැඩෙහි යෙදීමට කැමතිය. කම්මැලි කමක්‌ නැත.

දාර්ශනික අත -

මේ අත් ඉතා ප්‍රිය මනාප හැඩයෙන් යුක්‌තය. ඇඟිලි තුඩු සිහින්ය. නිය ඉතා පිරිසිදුය. අත්ල මනාව පිහිටා ඇත. අතේ රේඛාවන් ඉතා පැහැදිලිය. මොවුන්ගේ අදහස්‌ හා සිතුවිලි ඉතා පිරිසිදුව පවතී. ඉගෙනීමේ දක්‍ෂය, හැම දෙයක්‌ ගැනම දාර්ශනිකව කල්පනා කර බලයි. ධනය ගොඩගැසීමට කල්පනාවක්‌ නැත. තම ධනය අනුන් උදෙසා වැය කිරීමට කැමතිය. ප්‍රවේශම් සහිතව බුද්ධිමත්ව ක්‍රියා කරයි. වැඩි කලබල ගතියක්‌ දක්‌නට නැත. සමූහයක්‌ අතර කැපී පෙනෙයි.

කලා කාමී අත -

ඉතා සිනිඳු සිහින් ඇඟිලි වලින් යුක්‌තය. ඇඟිලි අග සිහින්ව මුල තරමක්‌ පළල්ව පිහිටා ඇත. බර වැඩ කිරීමට කැමති නැත. නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට, චිත්‍ර ශිල්පීන්ට මෙම අත් පිහිටා ඇත.

බොහෝ සංවේදී අය වෙති. ගතිගුණද යහපත්ය. පහසුවෙන් ජීවත්වීමට, විනෝදවීමට කවටකම් කරමින් සතුටු වීමට බොහෝ කැමැත්තෝය.

තමාගේ සැප පහසුකම් ගැන නිතරම පරීක්‍ෂාකාරී වන හෙයින්, තරමක ආත්මාර්ථකාමී බවක්‌ ද ඇත. සමාජ ඇසුර බොහෝ සෙයින්ම ප්‍රිය කරති.

චෛතසික අත -

චෛතසික අතෙහි යම්කිසි ක්‍රමානුකූල බවක්‌ ඇත. ඇඟිලි ක්‍රමයෙන් සිහින්ව පිහිටා තිබේ. ඇඟිලි අග උල්ය. නියපොතු සිහින්ය. ප්‍රමාණයට වඩා සිතීම නිසා එය තමාගේ දියුණුවට බාධාවක්‌ කර ගනී. සිත සිතා සිටින නිසා තීරණයක්‌ ගැනීම ප්‍රමාද කරයි. ප්‍රමාදය නිසාම සමහර වැඩ අතපසු වී යයි.

ලෞකික ජීවිතයට වැඩි කැමැත්තක්‌ නැත. ආගමික පැත්තට ජීවිතය කැප කරයි. ගැමි පරිසරයට වඩාත් ප්‍රිය කරයි.

මිශ්‍ර අත -

කලින් සඳහන් කරන ලද සියලුම අත්වල මිශ්‍රණයක්‌ මෙම අතේ දක්‌නට ලැබේ. මෙම අත් හිමි අය සියල්ලම දත් අය වශයෙන් සමාජයේ හැඳින්වේ. එහෙත් කිසිවක පරතෙරට දන්නේ නැත. හැම දෙයම ටික ටික දනී.

ව්‍යාපාර කටයුතු වලට ශූරය. රජයේ සේවයේ නියුක්‌ත වුවහොත් ඉතා දක්‍ෂ ලෙස රාජකාරි ඉටු කරයි. ආත්ම වර්ණනාවට බොහෝ කැමතිය.


-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top