'' චූටි මැණික කොහෙද ගියේ ? මං කුරුල්ලෙක් වෙලා ඉස්කෝලේ උඩින් පියාඹගෙන ගියා.. ”
Sunday, 19 November 2023 - 10:10 | Views - 1,641

“ආච්චි තමයි අපිව බලා ගත්තේ. පසුගිය සති දෙකේ ආච්චි හිටියේ ඉස්පිරිතාලේ. ඒකයි නංගි පුංචිලාගේ ගෙදර හිටියේ...පුංචිගේ ගෙදරට බැස්සුවාම පරිස්සමින් ඉන්න – බායි – බායි කියල ඔය පැහිච්ච ආච්චි මට දණගහල වැන්දා.”
'' මොන කේක් ද… මං ආයේ නං උපන්දිනේට කේක් කපන්නෙත් නෑ... ''
'' ෂෙහන්සා මට කලින් කෑවා. මම එතකොටත් කනවා, ෂෙහන්සා එක්ක ගියා නම් මාවත් යට වෙනවා...”
කවුරු කොහොම මොනවා කිවුවත් අවසානයේ , සය හැවිරිදි මල් කැකුළිය උපන්දිනය දවසේම යන්නම යන්න ගියා......
සිද්ධිය මෙසේ යි දිගහැරෙන්නේ..
ඔරුගොඩවත්තේ සිට හංවැල්ල තෙක් දිවෙන පරණ පාරේ , ඔරුගොඩවත්ත හන්දියේ ආරම්භයේ ඇත්තේ බෝ ගසකි , අවසන් වන්නේ ද පහත්ගම වයි හන්දියේ ඇති බෝගසකිනි. මෙය පසු කරන යනවිට හමුවන්නේ, පාලමකි.. මේ පාලමට ගොඩ නොවී ප්‍රධාන මාර්ගයේ යන විට, වම් පැත්තට හමුවන්නේ ගුරු පාරකි..
අදනම්, මේ ගුරු පාරේ කදුළු සළමින් සුදු කොඩි එහා මෙහා සෙලවෙනු ඇති..
ඒ මගෙහි ටික දුරක් යන විට අපට පෙනෙන්නේ... අවමංගල්‍යයකට සූදානම් වෙමින් තිබු කුඩා නිවෙසකි..
ඒ වැල්ලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ අනතුරකින් මියගිය, ෂෙහන්සා නෙත්සරනි නැමැති හය හැවිරිදි දැරියගේ නිවෙසයි.
ඒ අනතුර ගැන , කතා කරන්න ඇයගේ අම්මා නිවසේ සිටියේ නැති නිසාවෙන් , ෂෙහන්සාගේ පුංචි අම්මාගේ සැමියා සම්පත් ජයශාන්ත ඒ ගැන මේ වගේ මතකය අවදි කළා..
ඒ ෂෙහන්සාගේ ජීවිතයේ අවසන් රාත්‍රියයි.. ( නොවැම්බර් 14 වැනිදා )
“ෂෙහන්සා, අඟහරුවාදා පන්ති ඉවර වෙලා එනකොට රෑ හතට විතර ඇති. පුංචි අම්මේ බඩ රිදෙනවා කියාගෙන ආවා. ගෙදර නූඩ්ල්ස් හදලා තිබුණා. බඩ රිදෙන නිසා දුන්නේ නෑ. බිස්කට් එකක් කාලා තේ බිව්වා.
එයා තමයි , උදේ හයට විතර නැගිටලා අපේ දරුවන්ටත් කතා කරන්නේ..
නොවැම්බර් 15 වැනිදා ෂෙහන්සාගේ හයවැනි උපන් දිනේ. එයාගේ අම්මා ෂෙහන්සා මොන්ටිසෝරි යන කාලේවත් උපන් දිනේ දවසට මොන්ටිසෝරි යවන්නේ නෑ. අම්මා ලංකාවේ නැති නිසා ආච්චි භාරකාරයා හැටියට ඔය වේරගොඩ ඉස්කෝලෙට ඇතුළු කළේ.
ෂෙහන්සා, ආච්චි අම්මා එක්ක හිටියා නම් , එයාත් ෂෙහන්සාව කීයටවත් උපන් දිනය දවසේ ඉස්කෝලෙ යවන්නේ නෑ..
මගේ නෝනා ට ( ෂෙහන්සාගේ පුංචි අම්මට ) එයා ඉස්කෝලෙට යන්න ඉස්සෙල්ලා කිව්වා , පුංචි මට උපන්දිනේට තෑග්ගක් අරන් තියන්න කියලා. මට කිව්වා සම්පත් බාප්පේ හවසට ඇවිල්ලා ඔයාට මම බර්ත්ඩේ කේක් කවනවා කියලා. කලින් දවසේ බඩේ අමාරුවට අසමෝදගම් දුන්න හින්ද , නූඩ්ල්ස් දුන්නේ නෑ. ඒකට කෙල්ල හිත හොඳ නැතුව හිටියේ. ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා කිව්වා රෑට ෆ්‍රිජ් එකේ දාපු බත් එක දවල්ට ඇවිල්ලා කනවා කියලා.”
කොහොම හරි ෂෙහන්සා , බදාදා උදෙන්ම නැගිට්ටා, ඉස්සරහා තියෙන ගස්වලට එන කුරුල්ලෝ දිහාත් ආශාවෙන් බලන් හිටියා..
“මං ඊයේ හීනෙන් දැක්කා මං කුරුල්ලෙක් වෙලා ඉස්කෝලෙ උඩින් පියාඹ ගෙන යනවා” අන්න එහෙම කතාවකුත් එයා ඒ වේලාවේ කිවුවා... ''
බාප්පා කතාව එහෙම කියලා නතර කළා..
ෂෙහන්සා එක්ක එකටම ඉස්කෝලේ ගියේ එයාගේ පොඩි අයියා, ඒ තමයි සදෙව් සුලක්කන.. ෂෙහන්සාගේ ලොකු අයියා සවිඳු සුවහස් ගියෙත් ඒ වෙහෙරගොඩ විද්‍යාලයටම තමයි..
“ආච්චි තමයි අපිව බලා ගත්තේ. පසුගිය සති දෙකේ ආච්චි හිටියේ ඉස්පිරිතාලේ. ඒකයි නංගි පුංචිලාගේ ගෙදර හිටියේ. පුංචිට ඉන්නේත් දුවලා දෙන්නෙක්. කලින් දවසේ නංගිව ඉස්කෝලෙන් එක්කං ආවේ මම, නංගි එතකොට ටීචර්ට කිව්වා මිස්ට මම හෙට කේක් ගේනවා කියලා. නංගිට දෙන්න ආච්චි ගවුමක් උපන්දිනේට තියන් හිටියා.
අපේ නංගි හරි පැහිච්ච ආච්චි කෙනෙක්. ඕන කෙනෙක් එක්ක කතා කරනවා.
මම නායකත්ව පුහුණුවකට ගිහින් හිටියා. මම එනකම්ම මගේ කලිසමක් ඇඳගෙන අයියා එනකම් කියලා හිටියා. නංගිට වගේ පිරිත් කියන්න කාටවත් බෑ. හැමදාම පන්සල් යනවා. නංගි පිරිත් කියන හැටි බලන් ඉඳලා නායක හාමුදුරුවොත් පුදුම වුණා. අන්තිම දවසේ පුංචිගේ ගෙදරට බැස්සුවාම පරිස්සමින් ඉන්න ,බායි, බායි කියලා ඔය පැහිච්ච ආච්චි මට දණගහලා වැන්දා. ”
ඉතින්, මේ සිද්ධිය වුණේ වැලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ, සුසන්ත කරුණාරත්න කියන්නේ ඒ විදුහලේ විදුහල්පති.. මේ සිද්ධිය වුන දවසේ , විදුහල්පතිතුමාගේත් උපන්දිනය..
'' මං ආයේ නං උපන්දිනේට කේක් කපන්නෙත් නෑ. ඔය මැරිච්ච දරුවාගේ අයියලා දෙන්නත් මගේ ඉස්කෝලේ තමයි. ඒ දරුවගේ උපන්දිනේ කියලා මං දන්නෙත් නැහැ.
මං කවදාවත් උපන්දිනේට කේක් කපන්නේ නෑ. උදේ ඉස්කෝලේ බුදු මැඳුරට කිරි ආහාර පූජාවක් තිබ්බා. ඉස්කෝලේ උගන්වන ස්වාමීන් වහන්සේලා දෙන්නා ට මම හීල් දානයක් දුන්නා. ඊට පස්සේ ගුරු මණ්ඩලයට කිරිබත් දුන්නා.”
මේ සිද්ධිය වුණේ උදේ දහයහමාරට ඉන්ටවල් එකේ. මේ සිද්ධියෙන් පස්සේ මට අමානුෂික විදිහට පහර දුන්නා, ඉස්කෝලෙට සම්බන්ධයක් නැති පිරිසක්. මම ආරක්ෂාවට උඩ තට්ටුවේ පන්තියට පැන ගත්තා. එතැන්ට ආපු ගුරුවරියො අඬන්න පටන් ගත්තා අද ෂෙහන්සාගේ උපන් දිනේ කියලා. එතකොටයි මම ඒ ළමයාගේ උපන්දිනේ කියලා දැන ගත්තේ.
අපි කියලා තියෙන්නේ වතුර බෝතල්වලට අරන් වතුර බොන්න කියලා. මේ ෂෙහන්සා ගිහිල්ලා තියෙන්නේ කන්න අත හෝදා ගන්න.”
ඒ කතාවෙන් , කිවුවේ එහෙම වුණත්, මේ මතකය කවදාවත් ඒ පාසලටම නම් අමතක කරන්න බැරි වෙයි...
පෙරළුණු කොන්ක්‍රීට් පදාසය සහිත ටැම් පෙළත් ඇගේ පන්තියත් අතර මීටර් තුනක්වත් දුරක් තිබිලා නෑ... පන්තියේ දැලෙන් බැලුවම ෂෙහන්සාගේ මේසය උඩ ඇගේ කෑම පෙට්ටිය තිබුණා , එයා ගිහින් තිබුණේ අත සෝදාගෙන එන්න..
ඇගේ පොත් බෑගය කුඩා පුටුවේ එහෙම එල්ලිලා තිබුණේ වෙච්ච කිසිම දෙයක් නොදැනුනාක් මෙන්..
ඇය අකුරු කෙරූ අභ්‍යාස පොත් අසරණ ලෙස බලාගෙන ඉන්නවා වගෙයි බලපු කෙනෙකුට පෙනුනේ..
කොහොම හරි මේ බැම්ම හදලා තියෙන්නේ , 2012 වසරේදී යි..
ෂෙහන්සාගේ පන්තියේ ඈ ළඟින්ම හිටියේ ඇගේ මිතුරිය පහන්දි ආලෝකා...
“ෂෙහන්සා මට කලින් කෑවා. මම එතකොටත් කනවා. මම අත හෝදන්න එන්නම් කිව්වාම ෂෙහන්සා ගියා අත හෝදන්න. එකපාරටම එතන ලොකු කොන්ක්‍රීට් කෑල්ල කැඩිලා ෂෙහන්සා එක්ක කට්ටියක් යට වුණා. ෂෙහන්සා එක්ක ගියා නම් මාවත් යට වෙනවා.”
ඊට පස්සේ ෂෙහන්සාගේ පොඩි අයියාත් මෙහෙම කතාවක් කිවුවා...
“නංගියි තව තුන්හතර දෙනෙකුයි අත හෝදනකොටම මේක කැඩිලා ඇඟ උඩට වැටුණා. ඊට පස්සේ ඉස්කෝලේ හිටපු ලොකු අය මැදි වෙලා පාරෙනුත් කට්ටිය ඇවිල්ලා තමයි නංගිව බේර ගත්තේ. නංගිට සිහිය තිබ්බා. එක ඇහැක් නම් පේන්න තිබුණේ නෑ.! ”
සිද්ධිය මෙසේ නිම වුණාට පස්සේ තමයි ෂෙහන්සාගේ අම්මට එයාව අවසාන මොහොතකට දකින්නට එන්න පුළුවන් වුණේ... ඒ ආව ඒ අම්මාට මොනවා නම් හිතෙන්න ඇති ද ?
“අනේ මගේ කෙල්ල කෝ
දෙයියනේ..
චූටි මැණික කොහෙද ගියේ ?
ඇයි මටත් නොකියා මාව දාල ගියේ චූටි මැණික
“මම රට ගියේ මගේ දරුවො තුන්දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. දුවගෙ උපන්දිනේට කලින් දවසේ මම කතා කරලා ඇහුවා මොනවාද ඕනෙ කියලා. එයා කිව්වා කේක් ඕන කියලා. මම කිව්වා තව මාස අටකින් එනවා. ඒ එනකොට කේක් අරන් එන්නම් කියලා. ඒත් මට කේක් අරන් එන්න බැරි වුණා. ”
ෂෙහන්සාගේ පියා මේ සිද්ධිය නිසා දරාගත නොහැකි වේදනාවකින් සහ සිහිමඳ ගතියෙන් තමයි ඉන්නේ..
තාත්තා ෂෙහන්සාගේ උපන්දිනේට කේක් එකක් ගේන්න කොලොන්නාවේ ගිහින් ඉන්න කොට, ආරංචියට කේක් එකත් අරන් ඇවිත් තියෙන්නේ කෙළින්ම ඉස්පිරිතාලෙට. කේක් එක ගේනකොට ෂෙහන්සා මළවුන් අතර , ඉතින් කොහොම ඒ දුක ඒ තාත්තා දරා ගන්න ද ?
මේ සිද්ධිය තවත් එක් සිද්ධියකට නොගෙන , බලධාරීන් ඇස් ඇර බලා කටයුතු කළ යුතු වන්නේ, තවත් දරුවන්ට මෙවැනි අකල් මරණ උරුම නොකරමින් සිටීමට බවද ,මතක් කළ යුතුමයි..
එසේම, තවත් මෙවැනි කතාවලට පාදක වූ ෂෙහන්සාලා බිහි නොවේ වා , යැයි ද අපේ එකම පැතුමයි..
Share This Article